දේශීය

මම වැරදිකරුවෙක් නම් මට මරණ දඩුවම දෙන්න [VIDEO]

(UTV | කොළඹ) –  පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතා අද පාර්ලිමේන්තු සභාව අමතමින් කියා සිටියේ පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර සිද්ධියට තමන්ගේ කිසිදු සම්බන්ධයක් නොමැති බවත් එම චෝදනා තමා තරයේ ප්‍රතික්ෂේප කරන බවත්ය.

තමා අත්අඩංගුවට ගැනීමට සාධාරණ කරුණු කිසිවක් නොමැති බව පෙන්වා දෙන රිෂාඩ් බදියුදීන් මහතා සුළු ජාතික දේශපාලන පක්ෂයක නායකයෙකු වන තමන්ව අපහසුතාවයට හා පළිගැනීමට ලක්කිරීමේ අරමුණින් එය සිදුකොට ඇතැයිද චෝදනා කළේය.

රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේදී පළකල අදහස් ,

රටේ ජනාධිපතිවරයාට පවතින බලය පාවිච්චි කරමින් කිසිම උසාවියකින් හෝ නීතිපති දෙපාර්තමේන්තුවෙන් නීති උපදෙස් නොගෙන පාන්දර එකහමාරට පමණ මාගේ නිවසට බලහත්කාරයෙන් ඇතුළු වී කිසිදු වරෙන්තුවක් හෝ නොමැතිව මාව අත්අඩංගුවට ගනු ලැබුවා. අවුරුදු විස්සක් මුළුල්ලේ ජනතාවගේ ඡන්දයෙන් පත් වී මේ පාර්ලිමේන්තුව නියෝජනය කරන දේශපාලන පක්ෂ නායකයෙකුව කිසිම වැරැද්දක් නොමැතිව ජනාධිපතිවරයාගේ බලය පාවිච්චි කර මාස තුනක් රැඳවුම් භාරයේ තබා ගැනීම කුමන ආකාරයකින් සාධාරණ වේ දැයි මන්ත්‍රීවරයා මෙහිදී අසා සිටියා.

මා යම් කිසි වැරද්දක් කර තිබේ නම් එය අධිකරණය හමුවේ ඉදිරිපත් කර තිබිය යුතුයි, එසේ නැතිනම් නීතිපති දෙපාර්තමේන්තුවට දැනුවත් කර තිබිය යුතුයි, එහෙත් දින විසි දෙකක් මුළුල්ලේ මාව රැඳවුම් භාරයේ තබාගෙන මේ වන තෙක් එලෙස කිසිදු වාර්තාවක් අධිකරණයට හෝ නීතිපති දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කර නෑ. මම යම්කිසි වැරැද්දක් කර තිබේ නම් අධිකරණයට ඉදිරිපත් කර මට මරණ දඬුවම වුණත් ලබා දෙන්න. එසේ නැත්නම් මාව නිදහස් කරන්න යැයි මන්ත්‍රීවරයා තවදුරටත් හඬනගා සිටියා.

තවද එතුමා තවදුරටත් කියා සිටියේ, විපක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් විසින් ඉදිරිපත් කරන ලද විශ්වාසභංග යෝජනාවේ සඳහන් චෝදනා දහයක් සම්බන්ධව විමර්ශනය කර එහි කිසිදු සත්‍යතාවයක් නොමැති බව පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේ දී නිරීක්ෂණය වී තිබූ ඛවත්, එවකට වැඩ බලන පොලිස්පති, වත්මන් පොලිස්පති තුමා විසින් පත් කරන ලද විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් ද ඔහුට එරෙහිව තිබූ චෝදනා සම්බන්ධයෙන් විමර්ශනය කර පාස්කු ප්‍රහාරයට හෝ ත්‍ර‍රස්තවාදී ක්‍රියාවකට සඳහා ඔහු කිසිදු අයුරකින් සම්බන්ධ වී නොමැති බවද මේ පාර්ලිමේන්තුවට එවකට වැඩ බලන පොලිස්පතිවරයා විසින් ලිඛිතව දැනුම් දී තිබුණු බවයි. එපමණක් නොව පාස්කු ප්‍රහාරය සම්බන්ධව විමර්ශනය කරන ලද ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවෙන් ද ඔහුට එරෙහිව කිසිදු නියෝගයක් සඳහන් වී නොතිබු බවයි.

වන්නි දිස්ත්‍රික්කය නියෝජනය කරමින් හා බහුතර සුලු ජාතික ජනතාවක් නියෝජනය කරන ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂ නායකයෙකු විපක්ෂයේ සිටි පමණින් මෙලෙස පලි නොගන්නා ලෙස මෙහිදී මන්ත්‍රීවරයා තවදුරටත් කියා සිටියේය.

 

Related posts

කන්දකාඩුවෙන් තවත් ආසාදිතයින් තිදෙනෙක්

Mohamed Dilsad

සජිත් මහ මැතිවරණයට එන දිස්ත්‍රික්කය පිළිබඳ හෝඩුවාවක්

Mohamed Dilsad

පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක ලේකම් තනතුරින් ඉල්ලා අස්වීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය

Editor O

Leave a Comment