විදෙස්

ඉන්දියාවේ තුනෙන් දෙකකට කොවිඩ්

(UTV | ඉන්දියාව) – ඉන්දියාවේ ජනගහනයෙන් තුනෙන් දෙකකට ආසන්න පිරිසක් නව කොරෝනා වෛරසයට නිරාවරණය වී ඇතැයි පෞද්ගලික රසායනාගාර ජාලයක් අනාවරණය කර තිබේ.   

ඉන්දියාවේ පෞද්ගලික රසායනාගාර ජාලයක් වන ‘තයිරෝකෙයා’ රසායනාගාර ජාලය මේ බව වාර්තා කර ඇත.

මෙම අධ්‍යයනයට සම්බන්ධ කරගත් පුද්ගලයන්ගේ ශරීරවල ඉකුත් සතියක කාලයේ දී පැවැති ප්‍රතිදේහවල සාමාන්‍ය අගය 63.5 %ක් බව එයින් අනාවරණය වී තිබේ.

මීට මාසයකට පෙර එම අගය 45 % ක අගයක තිබී ඇත. ඒ අනුව ඉන්දීය ජනගහයෙන් සැලකිය යුතු පිරිසක් නව කොරෝනා වෛරස නිරාවරණය වී ඇති බවත් ඉන්පසුව ඔවුන්ගේ ශරීරවල ප්‍රතිදේහ නිර්මාණය වී ඇති බවත් මෙමඟින් පෙනී යන බව විශේෂඥයෝ සඳහන් කරයි.

පසුගිය දින කිහිපයේදී ඉන්දියාවෙන් වාර්තා වූ නව කොරෝනා ආසාදිතයන්ගේ ගණන අඩු වුව ද දෛනිකව වාර්තා වන මරණ ගණන අඩු නොවීය. දෛනිකව වාර්තා වන වයිරස ආසාදිතයන්ගේ ගණන පසුගිය දිනවල අඩු වුව ද වයිරසයේ උච්ඡතම අවධියට පැමිණ ඇති බව තහවුරු කිරීමට කිසිදු සාක්ෂියක් නොමැති බව සෞඛ්‍ය විශේෂඥයෝ ප්‍රකාශ කරති.

දෛනිකව වාර්තා වන ආසාදිතයන්ගේ ගණන සහ මරණ ගණන මීට වඩා බෙහෙවින් වැඩි යැයි බොහෝ පාර්ශව පෙන්වාදෙන අතර දැන් වාර්තා වන වෛරස් ආසාදිතයන් සහ මරණ, දැනට වාර්තා වන ගණනට වඩා දස ගුණයකින් වැඩි යැයි ද ඇතැම් විශේෂඥයෝ පෙන්වාදෙති.

ඉන්දියාවෙන් මුල් වරට හඳුනාගත් නව කොරෝනා වෛරසයේ අලුත් විකෘති ප්‍රභේදය ඉතා වේගයෙන් පැතිර යන බවත් එය පාලනයෙන් තොර බවත් මේ නිසා බොහෝ ආසාදිතයන් වාර්තා නොවන බව ඉන්දීය සෞඛ්‍ය ආරංචි මාර්ග සඳහන් කරයි. ඊට විශේෂයෙන්ම හේතු වී ඇත්තේ ප්‍රමාණවත් පරිදි ආසාදිතයන් හඳුනාගැනීමේ පරීක්ෂණ සිදු නොවීම යැයි ද වාර්තා වේ.

විශේෂයෙන්ම රට තුළට වන්නට, ග්‍රාමීය ප්‍රදේශවල ප්‍රමාණවත් පරිදි පරීක්ෂණ සිදු නොවන බව වාර්තා වේ.

ප්‍රාන්ත 25ක කලින් වෛරසය ආසාදනය වූ, එන්නත් ලබාගත් සහ වෛරසය ආසාදනය නොවූ පුද්ගලයන් යොදාගනිමින් මෙම අධ්‍යයනය සිදු කළ බවත් තයිරෝකෙයා සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී ආරෝකියස්වාමි වේළුමනී ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කළේය.

Related posts

උතුරු කොරියාව ගොඩනගන්න ඇමෙරිකාව සුදානම්

Mohamed Dilsad

උතුරු කොරියාව යළි බැලස්ටික් මිසයිලයක් අත්හදා බලයි

Mohamed Dilsad

කේරළයේ ගංවතුරින් ලක්ෂ 8ක් අවතැන් වෙයි

Mohamed Dilsad

Leave a Comment