දේශීය

රුපියල් බිලියන 1.7 කට අධික වටිනාකමින් යුත් හෙරොයින් තොගයක් නාවික හමුදා භාරයට

(UTV | මාතර) – නාවික හමුදාව විසින් වැලිගම, පොල්වතුමෝදර වෙරළ ආශ්‍රිත ප්‍රදේශයේ ඊයේ රාත්‍රියේ (12) සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී මුහුදු මාර්ගයෙන් මෙරටට ගෙන ඒමට උත්සාහ කළ හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 219 කට අධික තොගයක් සමඟ සැකකරුවන් 9 දෙනෙකු නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කරන ලදී.

නාවික හමුදාව විසින් සිදු කළ මෙම විශේෂ මෙහෙයුමේදී බහුදින ධීවර යාත්‍රාවක් මඟින් වැලිගම ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයට රැගෙන විත් පසුව ඩිංගි යාත්‍රාවක් යොදා ගනිමින් වැලිගම, පොල්වතුමෝදර ප්‍රදේශයෙන් ගොඩබිම වෙත ප්‍රවාහනය කර සැඟවීමට උත්සාහ කළ උර සහ ගෑස් සිලින්ඩර තුළ සූක්ෂම ලෙස අසුරා තිබූ හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝ 219 ග්‍රෑම් 800 ක පමණ තොගයක් නාවික හමුදා භාරයට ගැනීමට සමත් විය. මෙහිදී බහුදින ධීවර යාත්‍රාවක් සහ ඩිංගි යාත්‍රාවක් සමඟ එම යාත්‍රාවන්හි සිටි ජාවාරමට සම්බන්ධ සැකකරුවන් 9 දෙනෙකු ද නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

මෙලෙස හෙරොයින් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කළ බවට සැකපිට නාවික හමුදා භාරයට ගන්නා ලද බහුදින ධීවර යාත්‍රාව සිකුරාදා (11) මාතර, කොට්ටේගොඩ ධීවර වරායෙන් පිටත්ව ගොස් ඇති අතර, ජාත්‍යන්තර මුහුදේදී විදේශීය ජාවාරම් කරුවන් මාර්ගයෙන් මෙම මත්ද්‍රව්‍ය තොගය බහුදින ධීවර යාත්‍රාව වෙත ලබා ගන්නට ඇතැයි සැක කෙරේ. එමෙන්ම නාවික හමුදා භාරයට ගන්නා ලද මෙම හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයේ විථි වටිනාකම රුපියල් මිලියන 1,758කට අධික වෙතැයි විශ්වාස කෙරේ.

මෙම මෙහෙයුම මගින් නාවික හමුදා භාරයට ගත් සැකකරුවන් වයස අවුරුදු 26 ත් 43 අතර වයසේ පසුවන අහංගම, දික්වැල්ල, ඉහළවත්ත, කොට්ටේගොඩ, මිරිස්ස, පිළියන්දල, පොල්වතුමෝදර, සහ වැලිගම ප්‍රදේශයන්හි පදිංචිකරුවන් බවට හදුනාගෙන ඇති අතර, එම සැකකරුවන් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය තොගය සම්බන්ධ වැඩිදුර විමර්ශන කටයුතු මේ වන විට නාවික හමුදාව සහ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය එක්ව සිදුකරමින් පවතී.

මූලාශ්‍රය: ශ්‍රී ලංකා නාවික හමුදාව

Related posts

කොවිෂීල්ඩ් එන්නතේ පළමු මාත්‍රා ලක්ෂ 06 ලබන බදාදා ශ්‍රී ලංකාවට

Mohamed Dilsad

නව ප්‍රභේදයේ ව්‍යාප්තිය වේගවත්

Mohamed Dilsad

නීතිවිරෝධී කටවුට් ඉවත් කිරීමට පොලීසිය වෙත රුපියල් ලක්ෂ 758ක්

Mohamed Dilsad

Leave a Comment