දේශීය

පාසල් නැවත අරඹන්න වෛද්‍යවරුන්ගේ සහාය ගන්න – අගමැති

(UTV | කොළඹ) – කොරෝනා වසංගතය හේතුවෙන් වසා දමා තිබෙන පාසල් නැවත ආරම්භ කරන අවස්ථාවකදී දරුවන්ගේ රෝග සහ ගැටලු හඳුනා ගැනීම සඳහා ළමා රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ සහාය ගන්නැයි අගමැති මහින්ද රාජපක්ෂ මහතා අධ්‍යාපන බලධාරීන්ට උපදෙස් දුන්නේය.

පාසල් නැවත විවෘත කිරීම සහ ගුරුවරුන්ට හා සිසුන්ට කොවිඩ් ප්‍රතිශක්තීකරණ එන්නත් දීම සම්බන්ධයෙන් අවධානය යොමු කරමින් අරලියගහ මන්දිරයේ පැවැති සාකච්ඡාවකට එක්වෙමින් අගමැතිවරයා මේ බව සඳහන් කළේය.

කොරෝනා වසංගත තත්ත්වය පාලනය වූ වහාම අදියර කිහිපයක් යටතේ පාසල් නැවත ආරම්භ කිරීමේ වැදගත්කම පෙන්වා දුන් අගමැතිවරයා, ගුරුවරුන්ට අවශ්‍ය එන්නත් ලබා ගැනීම සෞඛ්‍ය අමාත්‍යංශය ඔස්සේ ඉටු කර ගත හැකි බව පෙන්වා දුන්නේය. පාසල් නැවත ආරම්භ කිරීමේදී ඇතිවන ගැටලු මඟහරවා දීම සඳහා සිය සංගමයේ සහය අධ්‍යාපන කලාප මට්ටමෙන් ලබා දිය හැකි බව මෙම සාකච්ඡාවට එක්ව සිටි ළමා රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ නියෝජිතයෝ ප්‍රකාශ කළහ.

ඒ අනුව රට පුරා විසිරී තිබෙන අධ්‍යාපන කලාප 99 උදෙසා තම සංගමයේ නියෝජිතයන් නම් කරමින් අදාළ කටයුතු විධිමත් කරන බව එම සංගමයේ නියෝජිතයෝ පෙන්වා දුන්හ. පාසල් නැවත ආරම්භ කිරීමට අදාළව එන්නත්කරණ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වන්නේ නම් 11 ශ්‍රේණිය හා 13 ශ්‍රේණියේ දරුවන්ට එහිදී ප්‍රමුඛතාව දිය යුතු බව අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා පෙන්වා දුන්නේය.

මේ කටයුත්ත සාර්ථක කරගැනීම සඳහා දෙලක්ෂ හැත්තෑ නව දහසක් පමණ වන ගුරුවරුන් සහ අනධ්‍යයන කාර්ය මණ්ඩලය ඇතුළු ලක්ෂ තුනකට ආසන්න පිරිසට එන්නත් දීමේ වැදගත්කම ද මහාචාර්ය කපිල පෙරේරා මහතා විසින් පෙන්වා දුන්නේය.

Related posts

අගමැතිනි සුපර්මාකට් ගිහින් බඩු ගත්තට. කුලීවැඩ කරන මිනිස්සු සතොස පෝලිමේ හිටියොත් දවසේ වැටුප නැහැ. – චාමර සම්පත්ගෙන් ආධුනිකයන්ට ප්‍රයෝගික පාඩමක්

Editor O

බන්ධනාගාර රැඳවියන් බැලීමට යළි අවස්ථාව

Mohamed Dilsad

යළිත් දුම්රිය වර්ජනයක් ඇරඹෙයි

Mohamed Dilsad

Leave a Comment