දේශීය

ත්‍රස්ත පනත යටතේ රිෂාඩ් රඳවා ගැනීම දේශපාලන පලිගැනීමක් – සමගි ජන බලවේගය [වීඩියෝ]

(UTV | කොළඹ) – සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදුර්දීන් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන රැදවුම් නියෝග යටතේ රඳවා ගෙන සිටීම සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඇතුළු සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් ඊයේ දින (22) පාර්ලිමේන්තුවේදී ආණ්ඩුව වෙත විරෝධය පළකර සිටියේය.

අගරදගුරු මැල්කම් රන්ජිත් කාදිනල් හිමිපාණන් විසින් ආණ්ඩුවට එරෙහිව ගෙනගිය විරෝධතාවය හමුවේ, අත්අඩංගුවට ගත් රිෂාඩ් බදුර්දීන් හා ඔහුගේ සොයුරා අධිකරණයට ඉදිරිපත් නොකොට මේවනවිට මාසයකට වැඩි කාලයක් තිස්සේ අපරාධ පරික්ෂ දෙපාර්තමේන්තුව තුළ රඳවාගෙන සිටියි.

ඉකුත් අප්‍රේල් මස 24 වනදා අලුයම සිය නිවසට කඩාවැදුණු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පිරිසක් ඔවුන් දෙදෙනාව අත්අඩංගුවට ගනු ලැබිය.

ඊයේ (22) පාර්ලිමේන්තුවේදී අදහස් දැක්වූ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මෙසේ පැවසිය.

”දැන් මෙතන ලොකුවට කතා කරා බොහෝ දෙනෙක් සිරගත කරලා තියෙනවලු ඒ අයට නඩු වැටිලා නැහැලු, ඒ අය චූදිතයෝ කරලා තියෙනවලු ලොකු අසාධාරණයක්ලු සිද්ධවෙන්නේ. අපි අහන්න කැමතියි ගරු කථානායකතුමනි මෙච්චර මාස ගණනාවක් ශානි අබේසේකරට මොකද කළේ.

“මෙච්චර මාස ගණනාවක් රිෂාඩ් බදුර්දීන්ට මොකක්ද කරන්නේ. ඇයි එහෙම කරන්නේ. මම අහන්නේ මේව කර කර රටට වැදි බණ දේශනා කරන්න එනවා. ඒ නිසා ගරු කථානායකතුමනි ලැජ්ජාවක් බියක් තියෙනවා නම් තමන්ගේ ක්‍රියාව නිවැරදි කරගෙන අනුන්ට පාඩම් උගන්වන්න කියලා මම ඉල්ලීමක් කරනවා.”

පාර්ලිමේන්තුව ඇමතු සමගි ජන බලවේගයේ මන්ත්‍රී මනුෂ නානායක්කාර මෙසේ පැවසිය.

”එතකොට රිෂාඩ් බදුර්දීන් මන්ත්‍රීතුමා මාස ගාණක් හිරේ ඇතුලේ තියාගෙන ඉන්නවා මේ දේශපාලන සංස්කෘතිය ඉවර කරන්න ඕනේ. අද නාමල් රාජපක්ෂ මන්ත්‍රීතුමා තරුණයෙක් විදිහට, තරුණ නායකයෙක් විදිහට මේ ගෙනාපු යෝජනාව අපි හැමෝම එකතුවෙලා මේ දේශපාලන පාදඩකම මේ දේශපාලන පලිගැනීම නැවත්වීම සඳහා කටයුතු කල යුතුයි.

පාර්ලිමේන්තුව ඇමතු ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍රසයේ නායක, රවුෆ් හකීම් සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරයා මෙසේ පැවසිය.

“මේ දේශපාලන පද්ධතියට ගිය නඩු අධිකරණයට නොගිහින් පරිපාලනමය වශයෙන් පොලිස් දෙපාර්තමේන්තුව යටතේ සීඅයිඩීය යටතේ ත්‍රස්ථවාදය වැළැක්වීමේ පනත යටතේ මෙහෙම අත් අඩංගුවේ ඉන්න අය ගැන, මෙතන ඇමතිතුමෙක් ඉන්නවා ඒ වගේ නොයෙකුත් අය පිළිබඳව විශාල සාදන සිදුවෙනවා. දැන් ඊයේ පෙරේදා බලනකොට අභියාචනාධිකරණයේ, මේ ෂානි අබේසේකර මැතිතුමාගේ ඒ ඇප ඉල්ලීමේ නඩු තීන්දුව ගැන බැලුවම විශාල කනේ පහරක් දීල තියෙනවා ආණ්ඩුවට කරපු මේ වැඩේට. සාක්ෂි ගොතමින් කරපු මේ විනාසයට අභියාචනාධිකරණය කනේ පාරක් දීල තියෙනවා ආණ්ඩුවට.”

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මෙසේ පැවසිය.

”මේ කතා කරන වෙලාවේ අද වන විට රිෂාඩ් බදුර්දීන් මැතිතුමාව මාසෙකට වැඩි කාලයක් රඳවාගෙන තියෙනවා. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වෙනුවෙන් පෙනී සිටින කෙනෙකු විදිහට එතුමාට තවමත් නඩුවක් පවරලා නැහැ. අපි කියන්නේ නඩුවක් පවරන්න එතුමාව නීතිය ඉදිරියට ඉදිරිපත් කරන්න.

පාර්ලිමේන්තුව ඇමතු මුජිබර් රහුමාන් මෙසේ පැවසිය.

”ශ්‍රී ලංකාවේ මානව හිමිකම් කොමිසමේ වෙඩ් අඩවියේ සඳහන් වෙලා තිබුණු බරපතල කාරණාවක්. ඒ කාරණාව පිළිබඳව මම මෙතන අධිකරණ ඇමතිතුමාත් මෙතන ඉන්න හින්දා එතුමාගේ හා නාමල් රාජපක්ෂ මැතිතුමාගේ අවධානයටත් යොමු කරනවා.

“විශේෂයෙන් මේ අප්‍රේල් ඇති වෙච්ච පාස්කු බෝම්බ ප්‍රහාරයෙන් පස්සේ ඇති වෙච්ච අත් අඩංගුවට ගැනීම් තුළ මානවහිමිකම් කොමිසම ශ්‍රී ලංකාවේ ඒ වෙබ් අඩවිය සඳහන් කරලා තියෙනවා. විශේෂයෙන්ම සැකකාරයන් රිමාන්ඩ් කර සිටින ප්‍රමාණයන්, ත්‍රස්ථ විමර්ශන අංශයේ ඉන්න උදවිය ඊළඟට රැඳවුම් භාරයේ තියාගෙන ඉන්න උදවිය. තව විශාල ප්‍රමාණයේ ලැයිස්තුවක් තියෙනවා. ඒ ලැයිස්තුවේ තිබෙනවා පාපොච්ඡාරණ සටහන් කර ඇති සහ පාපොච්ඡාරණ සඳහා අවවාද කර ඇති සැකකරුවන් කියලා. ඒක තමයි මම කිව්වේ දැන් පාපොච්ඡාරණ කරන්න කියලා අවවාද කරනවා කියලා කියන්නේ මොකක්ද?

විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මන්ත්‍රීවරයා මෙසේ පැවසිය.

”මගේ යුතුකමක් තියෙනවා අපේ රිෂාඩ් ඇමතිතුමා ගැන වචනයක් කියන්න ඔහු අප්‍රේල් මාසේ 24 වෙනිදා ඉඳලා අද දක්වා ඔහුව රඳවාගෙන ඉන්නවා එතකොට ඔහුව ජනාධිපති කොමිසමෙන් නිර්දෝෂී පුද්ගලයෙක් බවට පත් කෙරුවා. එහෙම තියෙද්දී ඔහුව නැවතත් අත්අඩංගුවට ගත්තා.

“දැන් ජනාධිපති කොමිසමෙන් වැරදි කරුවන් වූ අය තවම එළියේ. ඒ අය එළියට දාලා නිර්දෝෂී පුද්ගලයා අත්අඩංගුවට අරගෙන තියෙනවා. ගරු කථානායකතුමනි මම පාර්ලිමේන්තු මන්ත්‍රීවරු සියලු දෙනාගෙන්ම ඉල්ලනවා. ශානි අබේසේකර මැතිතුමා වෙනුවෙන් දුන්න නඩු තීන්දුව කියවන්න ලැජ්ජයි බොරු නඩුවක්.”

Related posts

ජනාධිපතිවරණයේ සියලු වියදම් සඳහා රුපියල් බිලියන 10ක ඇස්තමේන්තුවක්

Editor O

ස්විස්ටර්ලන්තයෙන් සහ ජර්මනියෙන් පිටුවහල් කළ 24 කටුනායකට

Mohamed Dilsad

විහාරමහාදේවි උද්‍යානයේ පරිපාලනය කොළඹ මහ නගර සභාවට

Mohamed Dilsad

Leave a Comment