විදෙස්

ඩෙල්ටා හේතුවෙන් කොරෝනා නැවත හිස ඔසවන බවට ලෝක සෞඛ්‍ය සංවිධානය කියයි

පසුගිය සතියේදී ලොව පුරා වාර්තාවූ කොවිඩ් ආසාදිතයින් ගණන සියයට 12කින් ඉහළ ගොස් ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.

ඔවුන් වැඩිදුරටත් පෙන්වාදෙන්නේ මෙසේ වාර්තාවන ආසාදිතයින්ගෙන් අතිශය බහුතරය ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදය වැලඳුණු පිරිස් බවය.

ඉහළ සම්ප්‍රේෂණ හැකියාවකින් යුතු ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදය ඉදිරි මාස කිහිපයේදී ලොව ප්‍රමුඛතම කොවිඩ් වෛරස කාණ්ඩය බවට පත්වනු ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.

පළමුවරට ඉන්දියාවෙන් හඳුනාගත් එම වෛරස ප්‍රභේදය පසුගිය සතියේදී පමණක් ලොව රටවල් 13ක් වෙත පැතිරගොස් තිබුණි.

ඒ අනුව ඩෙල්ටා ප්‍රභේදය හමුව ඇති සමස්ත රටවල් සහ කලාප ගණන 124කි.

එමෙන්ම අද වනවිට ඔස්ට්‍රේලියාව, ඉන්දියාව, බ්‍රිතාන්‍යය, බංග්ලාදේශය, චීනය, ඩෙන්මාර්කය, ඉන්දුනීසියාව, රුසියාව, ඊශ්‍රායලය, දකුණු අප්‍රිකාව ඇතුළු රටවල් රැසක හඳුනාගන්නා ආසාදිතයින්ගෙන් සියයට 75ක්ම ඩෙල්ටා ප්‍රභේදය ආසාදිතයින් බව වාර්තා වේ.

මේ අතර ජූලි 18වැනිදායින් අවසන් වූ සතිය තුළ ලොව කොවිඩ් ආසාදිතයින් මිලියන 3.4ක් වාර්තාවී තිබූ අතර එය ඊට පෙර සතියට සාපේක්ෂව ආසාදිතයින්ගේ සියයට 12ක ඉහළයාමකි.

උද්ගතව ඇති තත්ත්වය යටතේ තවත් සති 3ක් නික්ම යාමට මත්තෙන් ගෝලීය කොවිඩ් ආසාදිතයින් ගණන කෝටි 20 ඉක්මවා යනු ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.

එහිදී වැඩි වශයෙන් ආසාදිතයින් හඳුනාගෙන ඇත්තේ බටහිර පැසිෆික් කලාපීය රටවලින් සහ යුරෝපයේ රටවලිනි.

කොවිඩ් වසංගතයේ කේන්ද්‍රස්ථානය වී ඇති ඉන්දුනීසියාවෙන් ගතවූ සතියේදී ආසාදිතයින් තුන් ලක්ෂ පනස්දහස ඉක්මවා වාර්තාවී ඇති අතර, බ්‍රිතාන්‍යයෙන් ආසාදිතයින් දෙලක්ෂ අනූ හය දහසක් සහ බ්‍රසීලයෙන් ආසාදිතයින් දෙලක්ෂ අසූ හත් දහසක් වාර්තා වී තිබුණි.

වඩාත් වේගයෙන් පැතිරයන නව කොවිඩ් ප්‍රභේද, කොවිඩ් පාලන සීමා ලිහිල්කිරීම, මිනිසුන් එකිනෙකා මිශ්‍රවීම සහ එන්නත් ලබානොගත් පිරිස තවමත් ඉහළ අගයක් ගැනීම එම අවදානමට හේතුවී ඇති බව වාර්තාවේ.

සලකා බැලූ සතියේදී ලොව පුරා කොවිඩ් මරණ 57,000 ඉක්මවා තිබූ නමුත් එය ගෙවුණු මාස දෙකට සාපේක්ෂව කෙවිඩ් මරණවල පහළයාමකි.

Related posts

ඇමරිකාවේ විශ්වවිද්‍යාල දෙකකට බෝම්බ ප්‍රහාර තර්ජනයක්

Mohamed Dilsad

ට්‍රම්ප් ට අයත් හෝටලයක් ඉදිරිපිට වාහනයක් පුපුරා යයි.

Editor O

මධ්‍යම අප්‍රිකාවේ දේවස්ථානයක වෙඩි තැබීමක්.15ක් මරුට

Mohamed Dilsad

Leave a Comment