දේශීය

‘තේ ශක්ති’ අරමුදලේ කෝටි ගණනක වංචාවක්

(UTV | කොළඹ) –  වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයට අනුබද්ධව පවත්වා ගෙන යනු ලැබූ ‘තේ ශක්ති’ අරමුදල ආශ්‍රිතව සිදුව ඇති බව පැවැසෙන රුපියල් කෝටි ගණනක මුදල් වංචාවන් හා දූෂණ පිළිබඳව මහනුවර දිස්ත්‍රික් කුඩා තේ වතු සංවර්ධන සමිති සංවිධානය විසින් මුදල් ඇමති බැසිල් රාජපක්ෂ වෙත පැමිණිලි කොට තිබේ.

මහනුවර දිස්ත්‍රික් කුඩා තේ වතු සංවර්ධන සමිති සංවිධානයේ සභාපති දඹගොඩ සෙනෙවිරත්න මහතා සඳහන් කරන්නේ මෙම වංචා දූෂණ සම්බන්ධයෙන් වගකිවයුත්තන් වෙත වසර ගණනාවක සිට කොතෙක් පැමිණිලි කළ ද අදෘශ්‍යමාන දේශපාලන හස්ත අතපෙවීම හේතුවෙන් මේ දක්වා නිසි පියවරක් ගෙන නොමැති බවය.

මෙරට තේ නිෂ්පාදනයෙන් සියයට හැත්තෑ පහක් පමණ නිෂ්පාදනය කරන කුඩා තේ වතු හිමියන් පන් ලක්ෂයක් පමණ සිටිනා බවත් ඒ අතරෙන් තේ ශක්ති අරමුදලේ කොටස් මිලදීගත් සාමාජිකයන් ලක්ෂයකට ආසන්න පිරිසකගේ එම කොටස් මිලදී ගැනීම සඳහා ආයෝජනය කළ රුපියල් කෝටි විසිපහක පමණ මුදලක් මේ වන විට ආගිය අතක් සොයාගැනීමට නොහැකි බවත් දඹගොඩ සෙනෙවිරත්න පවසයි.

මේ වන විට ‘තේ ශක්ති’ අරමුදල ආර්ථික සංවර්ධන හා මුදල් අමාත්‍යංශය යටතට ගෙන ඇති බැවින් මේ සම්බන්ධයෙන් වහා පරීක්ෂණයක් සිදුකරන ලෙස ද මහනුවර දිස්ත්‍රික් කුඩා තේවතු සංවර්ධන සමිති සංවිධානය බැසිල් රාජපක්ෂ මහතාගෙන් ඉල්ලා සිටී.

එයට අමතරව සමස්ත ලංකා කුඩා තේ වතු සමිති සංවිධානයේ සභාපතිවරයා ‘තේ ශක්ති’ අරමුදලේ මුදල් වැය කොට ‘තේ ශක්ති’ පොහොර ආයතනයෙන් රුපියල් ලක්ෂ 43ක පොහොර ලබාගෙන එම මුදල් නැවත ගෙවීම වසර ගණනාවක සිට මේ දක්වා ම පැහැර හරිමින් සිටින බවද, තේ ශක්ති රක්ෂණ මරණ ප්‍රතිලාභවලට අයත් රුපියල් ලක්ෂ 37ක් පමණ වන මුදලක් ඉහත සභාපතිවරයා විසින් අව භාවිත කොට ඇති බවද බැසිල් රාජපක්ෂ ඇමතිවරයා වෙත සිදු කොට ඇති පැමිණිල්ලේ සඳහන් වන අතර මහනුවර දිස්ත්‍රික් ප්‍රධාන කාර්යාලය මගින් කුඩා තේ වතු හිමියන්ගේ භාවිතයට ගත නොහැකි ප්‍රමිතියෙන් තොර මුල්ලු දහසය දහසක් රුපියල් එක්දහස් දෙසීය බැගින් මිලදී ගෙන එම කාර්යාලයේ ගොඩගසාගෙන සිටින බවත් මෙම මුල්ලු ලබාගැනීමේදී විශාල කොමිස් මුදලක් වංචා කොට ඇති බවත් පැමිණිල්ලේ සඳහන් වෙයි.

මෙයට අමතරව ‘තේ ශක්ති’ අරමුදල ආශ්‍රිතව දැවැන්ත ආකාරයේ වංචා හා දූෂණ රැසක් සිදුව ඇති බවත් මේ සම්බන්ධයෙන්ද ඉදිරි කාලයේ දී බැසිල් රාජපක්ෂ ඇමතිවරයා දැනුවත් කිරීමට පියවර ගන්නා බවත් දඹගොඩ සෙනෙවිරත්න පවසයි. මෙම වංචා දූෂණ හේතුවෙන් ‘තේ ශක්ති’ අරමුදල දිගින් දිගට ම පාඩු ලබන ආයතන බවට පත්ව ඇති අතර මේ වන විට කොටස් හිමියන් හට ලබාදුන් ප්‍රතිලාභ ලබාදීම ද අත්හිටුවා ඇති බැවින් ‘තේ ශක්ති’ කොටස් හිමියන් දැඩි කනස්සල්ලට පත්ව ඉදිරියේදී එම තත්ත්වය අරගලයක් දක්වා වර්ධනය වීමට බෙහෙවින් ඉඩ ඇති බවත් ඇමතිවරයා වෙත සිදු කොට ඇති පැමිණිල්ලේ වැඩිදුරටත් සඳහන් වේ.

Related posts

පාර්ලිමේන්තු මංගල රැස්වීමට සහභාගීවීමට පිල්ලෙයාන්ට අවසර

Mohamed Dilsad

ශිෂ්‍යත්වය විභාග ප්‍රශ්න ගැන, අධ්‍යාපන අමාත්‍යාංශය අධිකරණයට කරුණු දක්වයි.

Editor O

පාර්ලිමේන්තු සභාවාරය ඇරඹේ

Mohamed Dilsad

Leave a Comment