දේශීය

සීනි, සහල් සඳහා උපරිම මිල සඳහන් ගැසට්ටුව නිකුත් වෙයි

(UTV | කොළඹ) – පාරිභෝගික කටයුතු අධිකාරිය විසින් ඊයේ  සිට බලපැවැත්වෙන පරිදි සහල් සහ සීනි සදහා උපරිම සිල්ලර මිලක් නියම කරමින් ගැසට් නිවේදන දෙකක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව කීරි සම්බා කිලෝවක් සඳහා රුපියල් 125ක්, සුදු සහ රතු කැකුළු සම්බා කිලෝවක් සදහා රුපියල් 103ක උපරිම සිල්ලර මිලක් නියම කරනු ලැබුවා.

ඊට අමතර ව සුදු සහ රතු නාඩු කිලෝවක් සදහා රුපියල් 98ක් සහ සුදු සහ රතු කැකුළු කිලෝවක් සදහා රුපියල් 95ක උපරිම සිල්ලර මිලක් නියම කර ඇති බව යි එම ගැසට් නිවේදනයේ දැක්වෙන්නේ.

එමෙන්ම, සීනි සදහා උපරිම තොග සහ සිල්ලර මිල නියම කර ඇති අතර ඒ අනුව සුදු සීනි කිලෝවක උපරිම තොග මිල රුපියල් 116ක් ලෙස නියම කර තිබෙනවා.

පැකට් නො කළ සුදු සීනි කිලෝවක උපරිම සිල්ලර මිල රුපියල් 122ක් ලෙසත්, පැකට් කළ සුදු සීනි කිලෝවක උපරිම සිල්ලර මිල රුපියල් 125ක් ලෙසත් සටහන් වෙනවා.

කෙසේ වෙතත්, දුඹුරු හෝ රතු සීනි කිලෝවක් විකිණිය යුතු උපරිම තොග මිලක් දක්වා නොමැති අතර, එම සීනි පැකට් නො කළ කිලෝවක් අලෙවි කළ හැක්කේ රුපියල් 125ක මිලකටයි.

පැකට් කළ දුඹුරු හෝ රතු සීනි කිලෝවක උපරිම සිල්ලර මිල රුපියල් 128ක් ලෙස දක්වා තිබෙනවා.

ඉහළ ගොස් ඇති සහල් සහ සීනිවල මිල පාලනය කිරීමේ අරමුණිනු යි මෙම ගැසට් නිවේදනය නිකුත් කර ඇත්තේ.

පසුගිය දින කිහිපය තුළ ම සීනි කිලෝග්‍රෑමයක් රුපියල් 220ක මිලකට අලෙවි වීම හේතුවෙන් සමාජයේ දැඩි කතාබහක් ඇති වුණා.

ඒ අනුව යි රජය විසින් සතොස හරහා දුඹුරු සීනි කිලෝග්‍රෑමයක් රුපියල් 130කට අලෙවි කිරීමට තීරණය කළේ.

කෙසේ වෙතත් පාරිභෝගිකයින් චෝදනා කළේ මිලදී ගැනීම සඳහා ප්‍රමාණවත් සීනි තොග සතොස සතුව නොමැති බවයි.

මේ අතර, රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර සදහන් කළේ අද සිට හිඟයකින් තොර ව සීනි මිල දී ගැනීමට ජනතාවට අවස්ථාව පවතින බවයි.

ඒ අනුව එක් පරිභෝගිකයෙකුට සීනි කිලෝ 3ක් මිල දී ගැනීමේ හැකියාව පවතින බව ද ඔහු සදහන් කළා.

එමෙන්ම, නීති විරෝධී ලෙස සඟවා ඇති සීනි සහ වී තොග සොයා පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය තවදුරටත් දිවයින පුරා වැටලීම් ක්‍රියාත්මක කරනවා.

කුරුණෑගල – මල්ලවපිටිය – උයන්දන ප්‍රදේශයේ ගබඩාවක සඟවා තිබිය දී කිලෝග්‍රෑම් එක්ලක්ෂ 67,000ක් පමණ සීනි තොගයක් ඊයේ සොයා ගනු ලැබුවේ එම වැටලීම්වල ප්‍රතිඵලයක් ලෙසයි.

එමෙන්ම, ඊයේ අම්පාර – අක්කරෙයිපත්තුව ප්‍රදේශයේ සඟවා තිබූ වී තොග සොයා පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය මෙහෙයුමක් දියත් කළා.

එහි දී වී කිලෝග්‍රෑම් හයලක්ෂයකට ආසන්න ප්‍රමාණයක් සොයාගෙන තිබෙනවා.

Related posts

රජයට අයත් භාවිතයට නොගත් ඉඩම් වගා සහ සත්ව පාලන කටයුතුවලට

Mohamed Dilsad

ජනපති සහ අගමැතිගෙන් නබිතුමන්ගේ ජන්ම දිනයට සුබ පැතුම්

Mohamed Dilsad

ගම්පහ මූල්‍ය ආයතනයක කෝටි 4 ක මංකොල්ලයක්

Mohamed Dilsad

Leave a Comment