දේශීය

කිරි පිටි මෙන් ඉටිපන්දම් හිඟයක්?

(UTV | කොළඹ) – ආණ්ඩුව මෙම 03 වැනිදාට පෙර යුගදනවි බලාගාර ගිවිසුම හකුළා නොගත්තොත් රට පුරා අඛණ්ඩ වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කරන බව ලංකා විදුලි බල මණ්ඩලයේ ඒකාබද්ධ වෘත්තිය සමිති සන්ධානය ඊයේ (27) අනතුරු හැඟෙව්වේය.

සැලසුම් සහගතව සිදු කරන මෙම වැඩ වර්ජනය තම අවසන් ක්‍රියා මාර්ගය බවද ප්‍රමාණවත් ලෙස ඉටිපන්දම් මිලට ගෙන තබා ගන්නා ලෙසද නැතිනම් ගෑස්, කිරි පිටි මෙන් ඉටිපන්දම් හිඟයක්ද ඇතිවනු ඇතැයි ජනතාවට දැනුම් දෙන බවද කීවේය.

යුගදනවි ගිවිසුම සහ ජාතික සම්පත් විකිණීමට එරෙහිව හෙට (29 වැනිදා) සිට වෘත්තිය ක්‍රියාමාර්ග කීපයක් ආරම්භ කරන අතර වැඩ වර්ජනය එහි අවසන් ක්‍රියාමාර්ගය බව හෙතෙම කියයි.

යුගදනවි බලාගාර ගිවිසුම හකුළා ගන්නා ලෙස බලකරමින් මෙම 03 වැනිදා දහවල් 12.00 ට කොළඹ ලංවිම ප්‍රධාන කාර්යාලය ඉදිරිපිට රටපුරා විදුලි සේවකයන්ගේ සහභාගිත්වයෙන් දැවැන්ත විරෝධතා උද්ඝෝෂණයක් පවත්වන බව වෘත්තිය සමිති පවසයි. තෙල් සහ වරාය සේවකයන්ද සිය කාර්යාල ඉදිරිපිටට පැමිණ මෙම විරෝධතාවට සහාය දීමට එකඟවී ඇති බව වෘත්තිය සමිති පවසති. රටපුරා අත්සන් තැබූ පෙත්සම මෙදින භාර ගෙන යෝධ පාගමනින් ජනාධිපති කාර්යාලයට ගොස් ජනාධිපතිවරයාට භාරදීමට කටයුතු කරන බව ද පැවැසුවේය.

මෙදින අත්‍යවශ්‍ය සේවකයන් පමණක් බලාගාරවල සේවයට තබා අන් සියලුදෙනා කොළඹට පැමිණෙන නිසා විදුලි බිඳ වැටීම සිදුවුවහොත් යථා තත්ත්වයට පත්කර ගැනීම අසීරු වනු ඇති බවද කියයි.

වෘත්තිය ක්‍රියා මාර්ගයේ මූලික පියවර ලෙස රට පුරා ස්ථාන දහ අටකදී හෙට (29 වැනිදා) 11.30 ට පෙත්සමක් අත්සන් කර දහවල් 12.00 ට උද්ඝෝෂණයක් පැවැත්වේ. කුලියාපිටිය, කුරුණෑගල, අනුරාධපුර, ගාල්ල, තංගල්ල, රත්නපුර, කිරිබත්ගොඩ, ත්‍රිකුණාමලය, යාපනය සහ ලක්ෂපාන ලංවිම නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී කාර්යාල ඉදිරිපිටද, මහනුවර සහ කොළඹ නගර කාර්යාලය ඉදිරිපිට, දෙහිවල සහ ඇතුල්කෝට්ටේ කලාප කාර්යාල ඉදිරිපිට, සහ සපුගස්කන්ද, කැලණිතිස්ස, ලක්විජය විදුලි බලාගාර ඉදිරිපිටදී උද්ඝෝෂණ පැවැත්වීමට කටයුතු යොදා ඇත.

ආණ්ඩුව සමග තවදුරටත් සාාකච්ඡා නැතැයි කී ලංකා විදුලි බල මණ්ඩලයේ ඒකාබද්ධ වෘත්තිය සමිති සන්ධානයේ කැඳවුම්කරු රන්ජන් ජයලාල් මෙම 03 වැනිදාට පසු කිසිම ලෙසකින් ආණ්ඩුවට කල් නොදෙන බව පැවැසුවේය.

Related posts

ප්‍රදේශ කිහිපයකට වැසි

Mohamed Dilsad

තැපැල් ඡන්ද අයදුම්පත් බාර ගැනීම ඔක්තෝබර් 01දා සිට

Editor O

අන්තර්ජාතික තෙත්බිම් උද්‍යාන නියෝජිතයෝ කොළඹ තෙත්බිම් නිරීක්ෂණ චාරිකාවක

Editor O

Leave a Comment