දේශීය

ආර්ථික පුනර්ජීවනයට චීනයෙන් ලැබෙන අඛණ්ඩ සහයට අගමැතිගේ ප්‍රසාදය

(UTV | කොළඹ) – මෙරට ආර්ථික පුනර්ජීවනය සඳහා චීනයෙන් ලැබෙන අඛණ්ඩ සහයෝගය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ චීන තානාපති චී.ෂෙන්හොන් (Qi Zhenhong) මහතා හමුවේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඊයේ (27) පස්වරුවේ සිය ප්‍රසාදය පළ කළේය.

තමන් බැහැ දැකීම සඳහා චීන තානාපති චී.ෂෙන්හොන් මහතා අරලිය ගහ මන්දිරයට පැමිණි අවස්ථාවේ අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

කොවිඩ් වසංගතය පාලනය කිරීම මෙන්ම එන්නත්කරණ වැඩපිළිවෙල සාර්ථක කර ගැනීම වෙනුවෙන් ශ්‍රී ලංකාවට දක්වන සහයෝගය සම්බන්ධයෙන් ද චීන රජයට සිය ප්‍රණාමය හිමිවන බව අග්‍රාමාත්‍යතුමා මෙහි දී කියා සිටියේය.

ශ්‍රී ලංකාවේ එන්නත්කරණ වැඩපිළිවෙලේ සාර්ථකත්වයට සුබ පැතුම් එක්කළ තානාපති චී.ෂෙන්හොන් මහතා ඒ සඳහා සිය රජයේ අඛණ්ඩ සහයෝගය හිමිවන බවට විශ්වාසය පළ කළේය.

කොවිඩ් වසංගත අභියෝගය ජයගැනීම සඳහා ආරම්භයේ පටන්ම චීනය වෛද්‍ය සැපයුම්, එන්නත් සහ මූල්‍ය ආධාර ශ්‍රී ලංකාව වෙනුවෙන් පිරිනමා ඇති බව ද හෙතම මෙහි දී සිහිපත් කළේය.

චීන මහජන බැංකුව (PBOC) සහ ශ්‍රී ලංකා මහ බැංකුව (CBSL) අතර චීන යුවාන් බිලියන 10 ක ද්විපාර්ශ්වික මුදල් හුවමාරු ගිවිසුම ගෝලීය ආයෝජකයින්ගේ හැඟීම් ශක්තිමත් කිරීමට සහ ශ්‍රී ලංකා ආර්ථිකය කෙරෙහි විශ්වාසය වැඩි කිරීමට උපකාරී වනු ඇතැයි චීන තානාපතිවරයා මෙහි දී අවධාරණය කළේය.

දෙරට අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවල 65 වැනි සංවත්සරය සහ රබර් සහල් ගිවිසුම අත්සන් කර වසර 70ක් සපිරීම සනිටුහන් කරන 2022 වසර ශ්‍රී ලංකා-චීන ද්විපාර්ශ්වික සබඳතාවයේ වැදගත් වසරක් වනු ඇති බවට චීන තානාපති චී.ෂෙන්හොන් මහතා මෙහි දී විශ්වාසය පළ කළේය.

ලබන මසට යෙදෙන අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ උපන් දිනය වෙනුවෙන් චීන ජනාධිපතිවරයාගේ සහ අග්‍රාමාත්‍යවරයාගේ පූර්ව උපන් දින සුබ පැතුම් එක්කිරීමට ද තානාපති චී.ෂෙන්හොන් මහතා මෙහි දී කටයුතු කළේය.

Related posts

නිරෝධායන රීති උල්ලංඝනය කළ 1,198ක් අත්අඩංගුවට

Mohamed Dilsad

හෙට නිවාඩු දිනයක් වුවත් SLBFEහි අංශයක් වැඩ

Mohamed Dilsad

හැටන් වතු යායක පස්වරුවේ ඇතිවූ ගින්නකින් නිවාස 14 කට දැඩි හානි

Mohamed Dilsad

Leave a Comment