දේශීය

චීන පොහොර සමාගමට ගෙවීම් සිදු කරන ලකුණු

(UTV | කොළඹ) – බැක්ටීරියා ඇතුළු අහිතකර ජීවීන් අඩංගු පොහොර තොගයක් මෙරටට ගෙන ආ බව කියන චීන සමාගමට හා එහි දේශීය නියෝජිතවරයාට මුදල් ගෙවීම වළක්වාලමින් මහජන බැංකුව වෙත පනවා ඇති වාරණ නියෝගය ඉවත් කරනවා ද නැතහොත් දීර්ඝ කරනවා ද යන නියෝගය ලබන වසරේ ජනවාරි මස 06 වනදා ප්‍රකාශයට පත් කරන බව කොළඹ වාණිජ මහාධිකරණ විනිසුරු ප්‍රදීප් හෙට්ටිආරච්චි දැනුම් දුන්නා.

දැනට පනවා තිබෙන වාරණ නියෝගය එදිනතෙක් දීර්ඝ කිරීමටයි විනිසුරුවරයා නියෝග කළේ.

කොළඹ කොමර්ෂල් පොහොර සමාගම ඉදිරිපත් කළ පෙත්සමක් අද යළි කැදවීමෙන් අනතුරුව අධිකරණය මෙම නියෝගය කරනු ලැබුවා.

පෙත්සම්කාර පොහොර සමාගම මීට පෙර අධිකරණය හමුවේ කරුණු දක්වමින් රුපියල් බිලියනයකට වඩා වැඩි වටිනාකමකින් යුත් ජීවානුහරණය කළ කාබනික පොහොර ලංකාවට ගෙන්වීමේ ටෙන්ඩරය ලබා ගත් වගඋත්තරකාර චින්ඩා ඕ සිවින්ග් බයෝටෙක් ගෘප්‍ නමැති චීන සමාගම එම ටෙන්ඩරය ක්‍රියාත්මක කරමින් පොහොර තොගයක් ලංකාවට එවීමට පියවර ගත් බව දැනුම් දී තිබුණා.

ඒ අනුව ජීවානුහරණය කළ කාබනික පොහොර මෙරටට නැව්ගත කිරීමට අවශ්‍යව තිබූණ ද එම කාබනික පොහොර වල ක්ෂුද්‍ර ජීවීන් සිටින බව අදාළ සමාගම නැව් උපදෙස් පත්‍රිකාව මගින් පිළිගෙන ඇතැයි ඔවුන් අධිකරණය හමුවේ ප්‍රකාශ කළා.

ජාතික ශාක නිරෝධායන සේවය වෙත වගඋත්තරකාර චීන සමාගම විසින් යවා ඇති පොහොර නියදිය පරීක්ෂා කිරීමේදී එහි ඇතැම් පොහොර කොටස් වල හානිකර බැක්ටීරියා ඇතුළු ජීවින් සිටින බව තහවුරු වී ඇතැයි ද සඳහන් කළ එම සමාගම් මෙම තත්ත්වය මත වගඋත්තරකාර චීන සමාගම ටෙන්ඩරයේ පිළිගෙන තිබූ කරුණු සම්පූර්ණ කොට නැතැයි චෝදනා කළා.

ඒ අනුව අදාළ චීන සමාගම වෙනුවෙන් නිකුත් කොට ඇති ණයවර ලිපියට අනුව කිසිදු මුදලක් එම සමාගමට, එහි දේශීය නියෝජිත ආයතනය වෙත හෝ මහජන බැංකුව වෙත ගෙවීම් හෝ ලබා ගැනීම වළක්වන වාරණ නියෝගයක් නිකුත් කරන්නැයි එම සමාගම් අධිකරණයෙන් ඉල්ලා තිබුණා.

මෙහිදී වගඋත්තරකාර චීන පොහොර සමාගම වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ නිහාල් ප්‍රනාන්දු අධිකරණයට දන්වා සිටියේ මෙම නඩුවේ කිසියම් සමථයක් ඇති වන්නේ නම් ඒ පිළිබඳව මෝසමක් මාර්ගයෙන් ඉදිරියේදී අධිකරණයට දැනුම් දෙන බවයි.

Related posts

ඉන්දීය ආරක්ෂක අමාත්‍යවරයා සති අන්තයේ දිවයිනට

Mohamed Dilsad

ආයතන 35ක් ආරක්ෂක අමාත්‍යංශය යටතට

Mohamed Dilsad

දෙනුවර මැණිකේ අද සිට දිනපතා ධාවනයට

Mohamed Dilsad

Leave a Comment