(UTV | කොළඹ) – අද දිනයේත් විදුලි කප්පාදුවක් සිදු නොකරන බව ලංකා විදුලිබල මණ්ඩලය පවසනවා.
එහි අතිරේක සාමාන්‍යාධිකාරී හා මාධ්‍ය ප්‍රකාශක ඇන්ඩෘ නවමනි සඳහන් කළේ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවෙන් ඊයේ දිනයේදී ලබාගත් ඩීසල් මෙට්‍රික් ටොන් 3,000 සැපයුම තවදුරටත් පවත්වාගෙන යාමට ප්‍රමාණවත් බවයි.
එසේම, අති විශාල විදුලි ඉල්ලුමක් ඉදිරි දින කිහිපයේදී නොලැබුනහොත් ලබන අඟහරුවාදා වනතුරු අදාළ ඉන්ධන තොගය ප්‍රමාණවත් වනු ඇති බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.
එමෙන්ම ඉදිරියේදී විදුලිබල මණ්ඩලයට අවශ්‍ය ඉන්ධන ලබාගැනීම සම්බන්ධයෙන් අඟහරුවාදා දිනයේදී තීරණයක් ගන්නා බවයි ලංකා විදුලිබල මණ්ඩලයේ අතිරේක සාමාන්‍යාධිකාරී හා මාධ්‍ය ප්‍රකාශක ඇන්ඩෘ නවමනි වැඩිදුරටත් කියා සිටියේ.
මේ අතර, නිසි වේලාවට බොරතෙල් ආනයනය කර පිරිපහදුවේ නිෂ්පාදන ක්‍රියාවලිය අඛණ්ඩව පවත්වාගෙන යෑම සිදුකර ගැනීමට නොහැකි වූ නිලධාරීන් ඇතුළු වගකිව යුත්තන් සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් සිදුකරන ලෙස ලංකා ඛනිජ තෙල් පොදු සේවක සංගමය ඉල්ලීමක් කරනවා.
ඒ, විෂය භාර අමාත්‍යවරයාට සහ ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ කළමනාකාරවරයාට ලිපියක් යොමු කරමින්.
පිරිපහදුව බොරතෙල් නොමැතිවීමත් සමඟ වසා දැමීම හේතුවෙන් එහි සේවකයින්ගේ රැකියා සුරක්ෂිතභාවයටද බලපෑමක් ඇති කරන බවයි එම සංගමය වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ.