(UTV | බිජිං) – චීන පර්යේෂකයින් කණ්ඩායමක් විසින් දකුණු අප්‍රිකාවේ වවුලන් අතර පැතිර යන නව කොරෝනා වෛරසයක් හඳුනා ගනු ලැබ තිබේ.
‘NeoCov’ ලෙස නම් කර ඇති මෙම නව කොරෝනා වෛරසය, මිනිසුන්ට තර්ජනයක් ඇති කරන්නේ ද යන්න සම්බන්ධයෙන් වැඩිදුර අධ්‍යයනය කිරීම අවශ්‍ය බව ඊයේ (28) ලෝක සෞඛ්‍ය සංවිධානය සඳහන් කර ඇත.
විදෙස් මාධ්‍ය සඳහන් කළේ, මෙම NeoCov කොරෝනා වෛරසය අනාගතයේදී මිනිසුන්ට තර්ජනයක් විය හැකි යැයි ඒ පිළිබඳව අධ්‍යයනය කළ වූහාන් පර්යේෂකයින් පැවසූ බවය.
2012 වසරේදී සෞදි අරාබියෙන් ප්‍රථම වරට හඳුනාගත් වෛරස රෝගයක් වන මැදපෙරදිග ශ්වසන සින්ඩ්‍රෝමයට (MERS) NeoCov සමීපව සම්බන්ධතාවක් පෙන්නුම් කරන බව ද හඳුනා ගෙන ඇත.
චීන විද්‍යා ඇකඩමියේ සහ වූහාන් විශ්ව විද්‍යාලයේ පර්යේෂකයින් සඳහන් කර ඇත්තේ, NeoCov දකුණු අප්‍රිකාවේ වවුලන් ගහනයක දක්නට ලැබෙන අතර එය අද වන විට මෙම සතුන් අතර පමණක් ව්‍යාප්ත වන බව ය.
එහි වර්තමාන ස්වරූපය අනුව එය මිනිසුන්ට ආසාදනය නොවන නමුත් තවදුරටත් විකෘති වීමෙන් මිනිසුන්ට ඉන් තර්ජනයක් විය හැකි බව පර්යේෂකයින් සඳහන් කර තිබේ.
කොරෝනා වෛරස යනු, සෙම්ප්‍රතිශ්‍යාවේ සිට දරුණු උග්‍ර ශ්වසන සින්ඩ්‍රෝමය (SARS) දක්වා රෝග ඇති කළ හැකි විශාල වෛරස පවුලකි.
මිනිසුන්ට බෝවන රෝගවලින් 75%ක ම ප්රභවය සතුන් වන අතර වවුලන් ඇතුළු සතුන් තුළ කොරෝනාවෛරස බොහෝ විට දක්නට ලැබෙන බව එම ලෝක සෞඛ්‍ය සංවිධානය සඳහන් කර ඇත.
එවැනි වෛරසවලට එරෙහිව කටයුතු කිරීමට සක්‍රීයව ක්‍රියා කිරීමට දායක වන බවද ලෝක සෞඛ්‍ය සංවිධානය සඳහන් කර ඇත.
මෙම පර්යේෂණ සම්බන්ධ වාර්තා මුද්‍රණය කර පළ කිරීමට පෙර ලෝක සෞඛ්‍ය සංවිධානය සමග බෙදා ගැනීම සම්බන්ධයෙන් එම සංවිධානය අදාළ චීන පර්යේෂණ කණ්ඩායමට ස්තුතිය පළ කර තිබේ.
මෙම අධ්‍යයනයට අනුව, කෝවිඩ්-19 රෝගයට අදාළ කොරෝනා වෛරසයට සමාන ආකාරයෙන් ම NeoCov වෛරසයට ද මිනිස් සෛල වෙත ඇතුළු විය හැකි බව අනාවරණය කර ගෙන ඇතැයි විදෙස් මාධ්‍ය සඳහන් කර ඇත.
NeoCov වෛරසය මිනිසුන්ට අනතුරුදායක වීමට නම් එහි සිදු විය යුත්තේ තවත් එක් විකෘතියක් පමණක් වන අතර ඒ පිළිබඳව කළ අධ්‍යයනය තවමත් සම-සමාලෝචනය කිරීමට ඇතැයි පර්යේෂණ කණ්ඩායම ප්‍රකාශ කර තිබේ.