දේශීය

“මෙරට තිබෙන ප්‍රශ්න ඩොලර් හිඟාකාලා විසඳන්න බෑ”

(UTV | කොළඹ) –  මෙරට තිබෙන ආර්ථක ප්‍රශ්නය විදේශ රටකින් ඩොලර් මිලියන 200 හෝ 300ක් හිඟාකමින් විසඳා ගත නොහැකි බව ආණ්ඩු තේරුම්ගත යුතු බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පැවසීය.

පාර්ලිමේන්තුවේ අද(10දා) පැවති විවාදයට එක්වෙමින් හෙතෙම මේ බව සඳහන් කළේය.

වර්තමානයේ රටේ ඩීසල්, පෙට්‍රල්, ගෑස්, ඖෂධ නොමැති වීම මෙන්ම විදුලි කප්පාදුව සිදු කරනුයේ රට බංකොලොත් නිසා නොවේද යන්න ආණ්ඩුවෙන් ප්‍රශ්න කරන බවත්, රට පත්ව තිබෙන බංකොලොත් භාවයෙන් බේරා ගැනීමට එක්ව කටයුතු කළ යුතු බවත් මන්ත්‍රීවරයා පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් පළ කළ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා;

“.. මොකක්ද මෙතන වෙලා තිබෙන්නේ. කරුණාකරලා මුදල් ඇමතිතුමාට කියන්න මේ පාර්ලිමේන්තුවට ඇවිල්ලා සාකච්ඡා කරලා අඩුම ගානේ ඔවුන්ගේ අදහස් ඉදිරිපත් කරලා, අපි ඉදිරිපත් කරන අදහස් සංසන්දනය කර ඒ සම්බන්ධයෙන් දේශපාලන පක්ෂ භේද වලින් තොරව තීරණයක් ගමු. මෙතන කවුද ඇහුවා අපේ රට බංකොලොත්ද නැද්ද කියලා. ඒක කිව්වේ රංජිත් බණ්ඩාර මන්ත්‍රීවරයා.

මම ඊයේ පැය එකහමාරක් ඩීසල් පෝලිමේ හිටියා. අවසානයේ ඒකත් ගන්න බැරි වුනා. ඩීසල් නෑ, පෙට්‍රල් නෑ, කිරි නෑ, ගෑස් නෑ, බෙහෙත් නෑ. මේක බංකොලොත් නෙවෙයිද? කරන්ට් එක නෑ. මිනිස්සුන්ට තදවෙලා. ඇමතිවරයෙක් නෑ. කතා කරන්න මිනිහෙක් නෑ. බංකොලොත් නැත්තන් මොකක්ද මේක? මේක නෙවෙයි නම් බංකොලොත් එහෙනම් මොකක්ද බංකොලොත්? මම තාක්ෂණිකව කියන්නම් බංකොලොත්ද නැද්ද කියලා. මහ බැංකුවේ විදේශ වත්කම් වල ශේෂය බලන්න. දෙයියනේ ඍණ. එහෙමනම් මහ බැංකුව බංකොලොත්. අපි කැමති නෑ මේක කියන්න. කොහොමද කටක් ඇරලා කියන්නේ රට බංකොලොත් කියලා. අපිටත් අභිමානයක් තිබෙනවා.

අපි විපක්ෂයේ හිටියත් ආණ්ඩු පක්ෂයේ හිටියත් අපි ශ්‍රී ලාංකිකයෝ. අපි මේ රටේ ඉපදුනේ. අපි ජීවත් වෙන්නේ මේ රටේ. අපි මැරෙන්නේ මේ රටේ. අපිට වෙන පාස්පෝට් නෑ. අපි ශ්‍රී ලාංකිකයෝ. අපි කොහොමද කට ඇරලා කියන්නේ රට බංකොලොත් කියලා. අඩුම තරමින් මේ රට බංකොලොත් කමින් බේර ගන්න දැන්වත් එකතු වෙලා මොකක් හරි කරමු.

ඊයේ සමගි ජන බලවේගයේ ඉරාන් මන්ත්‍රීතුමයි, කබීර් මන්ත්‍රීතුමයි මමයි ගියා නිවාඩ් කබ්රාල් අධිපතිවරයා මුණගැසෙන්න. අපි සාකච්ඡා කළා. මොකද හැමදේම දේශපාලනය වෙන්න ඕනී නෑ. ඉතින් අපේ අදහස් පිළිගන්න. 2020 නොවැම්බර් මාසයේ මම මෙතන පැයක කතාවක් කළා. එහිදී කිව්වා මේ ආණ්ඩුව වැරදි දෙකක් කරනවා කියලා. එකක් තමයි මුදල් අච්චු ගහනවා. අනිත් එක තමයි ආනයන ආදේශන කර්මාන්ත කරණ ව්‍යාපාරයකට රට ගෙනියනවා.

ඒ දෙක අද කරන්න බෑ රටේ. එහෙම අද ලොකයේ රටවල් දියුණු වෙන්නේ නෑ. අපි ගෝලීය වෙළඳපොළක ජීවත් වෙන්නේ. වගකියක විපක්ෂයක් ලෙස අපි රජයෙන් ඉල්ලනවා මේ ගමන මෙහෙම යන්න බැහැ. ඔබලාට අපි කිව්වා ණය ටික ප්‍රතිව්‍යූහගත කරන්න ඩොලර් මිලිය 500 ගෙවන්න කලින් කියලා. ගෙවනවා කියලා ගෙව්වා. කරුණා කරලා දැන්වත් තේරුම් ගන්න අපේ රටේ තිබෙන ගැටලුව කාගෙන් හරි ඩොලර් මිලියන 200-300ක් හිඟාකාලා බේරගන්න පුලුවන් ප්‍රශ්නයක් නෙවෙයි..”

Related posts

ප්‍රදේශ රැසකට අදත් තද වැසි

Mohamed Dilsad

පාර්ලිමේන්තුවට පිවිසි ජනප්‍රිය චරිත කල සේවය ගැන වාර්තාවක් සකසයි

Mohamed Dilsad

ව්‍යවස්ථාදායක සභාව අද රැස්වෙයි

Mohamed Dilsad

Leave a Comment