දේශීය

ඉදිරියේ දී හදිසියේ ඇතිවන හෘදයාබාධ සඳහා ලබාදෙන බෙහෙත් නැතිවෙන ලකුණු

(UTV | කොළඹ) – මෙරට වැසියන්ගෙන් සියයට 20ක් දෙනා හෘදයාබාධයන්ට ගොදුරුවෙමින් පවතින බවත් මෙම ප්‍රතිශතය බස්නාහිර පළාතේ සියයට 30 දක්වා වර්ධනය වී ඇති බවත් කොළඹ ජාතික රෝහලේ හෘද රෝග විශේෂඥ වෛද්‍ය ගෝඨාභය රණසිංහ සඳහන් කරයි.

මේ වනවිට රටපුරා ඇතිව තිබෙන ආර්ථික පීඩනය දරාගැනීමට නොහැකිව බොහෝ දෙනකු මානසික ආතතියට පත්වීම මෙසේ හෘද රෝග වැඩිවීමට හේතුවක් වී ඇතැයි ද විශේෂඥවරයා පැවසීය.

සුපුරුදු දෛනික කටයුතුවලින් බැහැරව බොහෝ දෙනකුට ගිනි අව්වේ පෝලිම්වල රැඳී සිටීමට සිදුවීමත් ඇතැම් විට අවසානයේ දී කිසිදු ප්‍රතිපලයක් නොමැතිව හිස් අතින් යාමට සිදුවීමත් වැනි හේතු සාධක සහ භාණ්ඩවල මිල අධික ලෙස ඉහළ යාමට සාපේක්ෂව මුදල් අතේ නොගැවසීම ද මානසික ආතතිය වැඩිකිරීමට හේතුවක් වී ඇතැයි හෙතෙම අවදාරණය කරයි.

එසේම මානසික ආතතිය වැඩිවීම හේතුවෙන් රුධිර පීඩනය, රුධිරයේ සීනි මට්ටම ද ඉහළ යාම ඇතුළු තවත් බෝනොවන රෝගයන් ඇති වීමටත් තිබෙන රෝග වැඩි වර්ධනයක් වීමටත් හේතු වන බව වෛද්‍යවරයා පෙන්වාදේ.

‌හදිසියේ ඇතිවන හෘදයාබාධ සඳහා ලබාදෙන ඖෂධයන් මේ වනවිට සුළු වශයෙන් කොළඹ ජාතික රෝහල සතුව පවතින නමුත් ඉදිරියේ දී එම ප්‍රමාණය ද අවසන් වූ පසු දැඩි අවදානමකට මුහුණපෑමට රෝහල් කාර්ය මණ්ඩලයට මෙන්ම රෝගීන්ට ද සිදුවන බව වෛද්‍ය රණසිංහ අවධාරණය කරයි.

Related posts

පොලිස් බුද්ධි සේවයට බදවා ගැනීම් අත්හිටුවයි

Mohamed Dilsad

වැලි කියුබ් එකක් රු. 8,000කින් ඉහළට

Mohamed Dilsad

පළාත් පාලන මැතිවරණයේ තැපැල් ඡන්ද අයදුම්පත් බාර ගැනීමේ අවසන් දිනය අදයි

Editor O

Leave a Comment