දේශීය

ආහාර සුරක්ෂිතතාව වෙනුවෙන් ක්‍රියාත්මක වන්න – ජනපති

(UTV | කොළඹ) – ආහාර සුරක්ෂිතතාව වෙනුවෙන් රාජ්‍ය සහ පෞද්ගලික අංශ ඒකාබද්ධ පුළුල් වැඩසටහනක් වහාම ක්‍රියාත්මක කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා නිලධාරීන්ට උපදෙස් දෙයි.

පොහොර අවශ්‍යතාව සපුරා ගැනීම සඳහා රටවල් කිහිපයක් සමග කර ඇති සාකච්ඡා සාර්ථක වී තිබේ. එම නිසා පොහොර හිඟය හෝ වෙනයම් හේතුවක් පාදක කරගනිමින් යල කන්නයේ වගාව අතනොහරින ලෙස ජනාධිපතිතුමා සියලුම ගොවීන්ගෙන් ඉල්ලා සිටි.

යල කන්නයේ වගා කටයුතු සහ ඉදිරියේ දී ඇති විය හැකි ආහාර හිඟය අවම කරගැනීම පිළිබඳ අද (30) කොළඹ, කොටුව ජනාධිපති මන්දිරයේ පැවති සාකච්ඡාවේ දී ජනාධිපතිතුමා මේ බව සඳහන් කළේය.

පොහොර ගෙන්වීම, බෙදාහැරීම, නිසි කළමනාකරණය, දැනුවත් කිරීම, ගොවීන් සහ නිලධාරීන් අතර සම්බන්ධීකරණය සඳහා ජාතික පොහොර ප්‍රතිපත්තියක් කඩිනමින් සකස් විය යුතුව ඇතැයි ජනාධිපතිතුමා පෙන්වා දෙනු ලැබීය. ගොවියාගේ කැමැත්ත පරිදි රසායනික හෝ කාබනික පොහොර යොදාගනිමින් වගා කටයුතු සිදු කිරීමට කෘෂිකර්ම අමාත්‍යාංශයේ පූර්ණ මැදිහත්වීම ලබාදිය යුතු බව ද ජනාධිපතිතුමා පැවසීය.

යල කන්නයේ වගාව සඳහා යොදා නොගත් කුඹුරු හඳුනාගෙන මුං, කව්පි, සෝයා ඇතුළු අත්‍යාවශ්‍ය භෝග වගාවට උනන්දු කරවීමෙන් ගොවීන්ට ඉහළ ආදායමක් උපයා ගැනීමට අවස්ථාව ලබාදිය හැකිය. ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලයට අයත් කන්දකාඩු ගොවිපොළ බඩඉරිඟු, සෝයා ඇතුළු භෝග වගාවට කඩිනමින් නිදහස් කර දීමට පියවර ගන්නා ලෙස ජනාධිපතිතුමා විසින් උපදෙස් දෙනු ලැබිණ.

වගා කර නොමැති ඉඩම්වලින් ඉහළ ප්‍රතිශතයක් රජය සතු වේ. එම ඉඩම් හඳුනාගෙන තරුණ වගාකරුවන්ට ලබාදීමට තීරණය විය.

ගෙවතු සහ රජයේ කාර්යාල පිහිටි ඉඩම්වල වගා කටයුතු දිරිමත් කළ යුතුය. ඊට ඇමතිවරුන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුළු දේශපාලන නායකයින්ගේ සිට සියලුම රාජ්‍ය සේවකයින් දායක වී පූර්වාදර්ශයක් සැපයිය යුතු බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කළේය.

Related posts

බස්නාහිර විශේෂ මෙහෙයුමකින් සැකකරුවන් රැසක් අත්අඩංගුවට

Mohamed Dilsad

ටෙනිසන් කුරේ කලාකරුවා ජීවිත රඟ මඩලට සමුදෙයි

Mohamed Dilsad

කොළඹ ප්‍රදේශ රැසකට අද ජල කප්පාදුවක්

Mohamed Dilsad

Leave a Comment