දේශීය

මීළඟ පෙට්‍රල් නැව එන දිනය

(UTV | කොළඹ) – ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට මීළඟ පෙට්‍රල් තොගය රැගත් නෞකාවක් ලැබීමට නියමිතව ඇත්තේ ජූලි මස 22 වැනිදා බව අගමැති උපදේශක සාගල රත්නායක ප්‍රකාශ කරයි.

අගමැති උපදේශකවරයා ඊයේ (29 වැනිදා) මේ බව ප්‍රකාශ කළේ අගමැතිවරයාද සහභාගි වූ පුවත්පත් කර්තෘවරුන් සහ රුපවාහිනී, ගුවන් විදුලි ප්‍රවෘත්ති අධ්‍යක්ෂවරුන් සමග පැවති හමුවකදීය. එහිදී වැඩිදුරටත් කතා කළ හෙතෙම ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සතුව අවශ්‍ය මුදල් තිබුණද ඉන්ධන නෞකා ඇණවුම් කිරීම සම්බන්ධයෙන් ගැටලුවක් පවතින බව පැවැසීය. ඉන්ධන අර්බුදය විසඳීම සඳහා ගෙන ඇති හදිසි ක්‍රියාමාර්ග ඇතුළු රටේ වත්මන් ආර්ථික තත්ත්වය පිළිබඳව අගමැතිවරයාද එහිදී කරුණු පැහැදිලි කර තිබේ.

මීට අමතරව මීළඟ ඩිසල් නෞකාව මෙරටට ළඟාවනු ඇත්තේ ජූලි 11 සහ 15 අතර කාලයේදී බවද අගමැති උපදේශකවරයා එහිදී පෙන්වා දුන්නේය. එම දිනවලදී මෙට්‍රික් ටොන් 38,000ක ඩීසල් නැවක් ඛනිජ තෙල් සංස්ථාව බලාපොරොත්තු වන බවද කී හෙතෙම දැනට රටේ පවතින ඉන්ධන තොග මීළඟ ඉන්ධන තොග පැමිණෙන තෙක් අත්‍යවශ්‍ය සේවා සඳහා පමණක් භාවිත කරනු ඇති බවද පැවැසීය.

ශ්‍රී ලංකාව සතුව දැනට ඩීසල් මෙට්‍රික් ටොන් 11,000ක්, පෙට්‍රල් මෙට්‍රික් ටොන් 5,000ක්, දැවි තෙල් මෙට්‍රික් ටොන් 30,000ක් සහ ගුවන් යානා ඉන්ධන මෙට්‍රික් ටොන් 800ක් ඇති බව අගමැති රනිල් වික්‍රමසිංහ මෙහිදී අනාවරණය කළේය.

මේ අතර ඉදිරි මාස 4 සඳහා ලිට්‍රෝ සමාගම විසින් ගෑස් මෙට්‍රික් ටොන් 100,000ක් ඇණවුම් කර ඇති බැවින් ගෑස් සැපයීම සම්බන්ධයෙන් කිසිදු ගැටලුවක් ඇති නොවන බවත්, එම ගෑස් නෞකා ජූලි 6, 10, 16, 19, 21 සහ 31 යන දිනවලදී පැමිණෙන බවත් සාගල රත්නායක වැඩිදුරටත් සඳහන් කළේය.

Related posts

කොරෝනා ආසාධිතයන් 132 දක්වා ඉහළට [UPDATE]

Mohamed Dilsad

සහල් සඳහා පනවා ඇති පාලන මිල ඉහළ දමුවොත් සහල් දෙන්නම් – සහල් නිෂ්පාදකයින්ගේ සංගමය

Editor O

වරප්‍රසාද එපා කියූ, මාලිමාවේ 80ක් මාදිවෙල පදිංචියට එන්න සූදානමින්

Editor O

Leave a Comment