දේශීයවිදෙස්

බ්‍රිතාන්‍ය අගමැතිගෙන් රනිල්ට පැසසුම්

(UTV | බ්‍රිතාන්‍ය) – ශ්‍රී ලංකාව මුහුණ දී සිටින අර්බුදය විසඳීම සඳහා සියලු පාර්ශ්ව ඇතුළත් රජයක් පිහිටුවීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගන්නා උත්සාහය බ්‍රිතාන්‍ය අගමැති බොරිස් ජොන්සන්ගේ පැසසුමට ලක්ව තිබේ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා රාජ්‍ය නායකයා ලෙස පත්කිරීම වෙනුවෙන් සුබ පැතුම් පණිවුඩයක් නිකුත් කරමින් බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා සඳහන් කර ඇත්තේ ජනාධිපතිවරයාගේ සාර්ථකත්වය ප්‍රජාතන්ත්‍රවාදී මූලධර්ම ආරක්ෂා කිරීම සහ ප්‍රජාතන්ත්‍රවාදී සම්මුතියක් අපේක්ෂා කිරීම බවයි.

ශ්‍රී ලංකාව කෙරෙහි බ්‍රිතාන්‍ය රජයේ අවංක කැපවීම යළිත් අවධාරණය කරන අගමැති බොරිස් ජොන්සන්, විශේෂයෙන්ම වත්මන් ආර්ථික හා සමාජීය අභියෝගවලදී ශ්‍රී ලංකාවේ ජනතාව සමඟ එක්සත් රාජධානිය අඛණ්ඩව කටයුතු කරන බව ද ප්‍රකාශ කර ඇත.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ගනුදෙනු කිරීමේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට කඩිනම් සහ ධනාත්මක ප්‍රගතියක් අත්කර ගැනීමට හැකි වනු ඇතැයි විශ්වාසය පළ කරන බ්‍රිතාන්‍ය අගමැතිවරයා ශ්‍රී ලංකාවට සහාය දැක්වීම සඳහා තම ජාත්‍යන්තර හවුල්කරුවන් සමඟ එක්වීමට එක්සත් රාජධානිය සූදානම් බව ද අවධාරණය කර තිබේ.

ශ්‍රී ලංකාවේ ප්‍රතිසන්ධානය සහ වගවීම සම්බන්ධයෙන් දීර්ඝ කාලීන සහ සැලකිය යුතු ප්‍රගතියක් දැන් ලබා ගත හැකි බවට බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා විශ්වාසය පළ කර තිබේ.

සැප්තැම්බර් මාසයේදී පැවැත්වීමට නියමිත එක්සත් ජාතීන්ගේ 51 වැනි මානව හිමිකම් කවුන්සිලයේ ප්‍රවේශයේ වෙනසක් ඇති කිරීමට ශ්‍රී ලංකා රජයට අවස්ථාවක් ලැබෙන බවද සඳහන් කර ඇත.

මෙම ගැටළු සම්බන්ධයෙන් සැබෑ සහ ප්‍රත්‍යක්ෂ ප්‍රගතියක් ලබා ගැනීම සඳහා බ්‍රිතාන්‍ය සහ ජාත්‍යන්තර ප්‍රජාවේ අනෙකුත් පාර්ශව ශ්‍රී ලංකාව සමඟ එක්ව කටයුතු කළ යුතු බව ද එම සුබපැතුම් පණිවිඩයේ සඳහන් වේ.

මෑතකදී ප්‍රකාශයට පත් කරන ලද සංවර්ධනය වෙමින් පවතින රටවල වෙළඳ යෝජනා ක්‍රමය පිළිබඳව සිහිපත් කළ බ්‍රිතාන්‍ය අගමැති බොරිස් ජොන්සන්, එක්සත් රාජධානියට අපනයනය කරන සියලුම භාණ්ඩවලින් අතිමහත් බහුතරයකට තීරුබදු රහිත ප්‍රවේශයේ ප්‍රතිලාභ ලබා ගැනීමේ අවස්ථාව මෙමගින් ශ්‍රී ලංකාවට ලැබී ඇති බව ද සඳහන් කර ඇත.

ශ්‍රී ලංකාව සිය 75 වැනි නිදහස් සංවත්සරය සමරන විට දෙරට අතර ගැඹුරු සහ ශක්තිමත් සහයෝගීතාවයක් තවදුරටත් ගොඩනැගිය හැකි බවට විශ්වාස කරන බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් මහතා සිය පණිවිඩයේ වැඩිදුරටත් සඳහන් කර ඇත.

Related posts

ඔනේෂ් සුබසිංහව ඝාතනය කර ඇත්තේ ජීවිත රක්ෂණය වෙනුවෙන්

Mohamed Dilsad

අන්තර් ජාලයට වැරදි දේ දමන අය අල්ලන්න මෙහෙයුමක්

Mohamed Dilsad

හමාස් – ඊශ්‍රායල් ගැටුම් කැනඩාවටත් පැතිරෙයි

Mohamed Dilsad

Leave a Comment