දේශීය

දරු ප්‍රසූතියකදී ආබාධිත දරුවකු බිහිවුණේ වෛද්‍ය නොසැලකිල්ලෙන්

(UTV | කොළඹ) – ගම්පහ දිස්ත්‍රික් රෝහලේ දරු ප්‍රසූතිය සඳහා ඇතුළත් වූ මවක් ආබාධිත දරුවකු බිහි කිරීම එම රෝහලේ වෛද්‍යවරුන්ගේ හා කාර්ය මණ්ඩලයේ නොසැලකිල්ල මත සිදුවී ඇති බැවින් එම දැරියට සිදුවූ අලාභය වෙනුවෙන් රුපියල් මිලියන 30 ක වන්දියක් ගෙවන ලෙස කොළඹ දිසා අධිකරණය විසින් රජයට නියෝග කර තිබේ.

දැනට ආබාධිත තත්ත්වයකට පත්ව සිටින බියගම ප්‍රදේශයේ පදිංචි සඳුනි අතාශා නමැති දැරිය විසින් සිය මව මාර්ගයෙන් ඉදිරිපත් කළ නඩුවක තීන්දුව දෙමින් කොළඹ අතිරේක දිසා විනිසුරු කල්හාරී ලියනගේ මෙම නියෝගය නිකුත් කළාය.

පැමිණිලිකාර දැරියගේ මව අධිකරණය හමුවේ සාක්ෂි දෙමින් සඳහන් කර සිටියේ තමා දරුවකු ප්‍රසූත කිරීම සඳහා 2012 වසරේ මැයි මස 14 වනදා ගම්පහ මහ රෝහලට ඇතුළත් වූ බවයි. තමන්ට දරාගත නොහැකි වේදනාවක් ඇති වූ අතර ඒ පිළිබඳව රෝහල් කාර්යමණ්ඩලය හා වෛද්‍යවරු දැනුවත් කළත් ප්‍රතිකාරයක් ලබානොදුන් බවත් එම මව විසින් සඳහන් කර තිබේ.

දරුවා ප්‍රසූත කිරීම සඳහා සූතිකාගාරයට රැගෙන ගිය පසුවද තමන්ට පවතින අධික වේදනාව පිළිබඳව වෛද්‍යවරියට කියා සිටියත් වෛද්‍යවරිය ඒ සම්බන්ධයෙන් සැලකිල්ලක් නොදැක්වූ බවත් එම තැනැත්තිය චෝදනා කර සිටියාය.

වෛද්‍යවරුන්ගේ හා රෝහල් කාර්ය මණ්ඩලයේ නොසැලකිලිමත් ක්‍රියා කලාපය හේතුවෙන් තමන්ට ආබාධිත දරුවකු බිහි වූ බවත් එම දැරිය වෙනුවෙන් අලාභ වශයෙන් රුපියල් මිලියන 50 ක වන්දියක් අය කර දෙන ලෙස ඉල්ලා පැමිණිලිකාර මව විසින් මෙම නඩුව ගොනුකර තිබුණා.

දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව තීන්දුව ප්‍රකාශයට පත් කළ කොළඹ අතිරේක දිසා විනිසුරුවරිය සඳහන් කළේ රෝහලකට යම් රෝගියකු ඇතුළත් වූ පසු ඔහුට ප්‍රතිකාර කිරීමේ යුතුකම වෛද්‍ය හා රෝහල් කාර්ය මණ්ඩලය වෙත පැවරී තිබෙන බවයි.

ගම්පහ මහ රෝහල යනු රජය යටතේ පාලනය වන රෝහල් වන අතර එහි සේවයේ නියුතු වෛද්‍යවරුන්ට හා කාර්ය මණ්ඩලයට වැටුප් ගෙවනු ලබන්නේ රජය විසින් යැයි නඩු තීන්දුව තුළින් පෙන්වා දී තිබේ. එමෙන්ම අදාළ වෛද්‍යවරුන්ගේ හා රෝහල් කාර්ය මණ්ඩලයේ වැටුප් ගෙවීම සඳහා පුරවැසියන් විසින් ගෙවනු ලබන බදු උපයෝගී කර ගන්නා බවත් විනිසුරුවරිය නඩු තීන්දුවේ පෙන්වා දුන්නාය. එබැවින් යම් පුරවැසියකු රජයේ රෝහලකට ඇතුළත් වූ අවස්ථාවක එම තැනැත්තාට අවශ්‍ය ප්‍රතිකාර ලබා දීමේ යුතුකම වෛද්‍යවරු හා රෝහල් කාර්ය මණ්ඩලය වෙත පැවරී ඇති බවත් නඩු තීන්දුව තුළින් අවධාරණය කර තිබේ.

දරු ප්‍රසූතිය සඳහා ඇතුළත් වූ අවස්ථාවේදී පැමිණිලිකාර මව තමන්ට පවතින වේදනාකාරී තත්ත්වය පිළිබඳව වෛද්‍යවරුන්ට හා කාර්ය මණ්ඩලයට ප්‍රකාශ කර තිබුණත් ඔවුන් ඒ පිළිබඳව සැලකිල්ලක් දක්වා නොමැති බව සාක්ෂිවලින් අනාවරණය වී තිබේ.

පෙකණිවැල දරුවාගේ ගෙලෙහි එතීම නිසා මෙවැනි තත්ත්වයක් උද්ගත වී ඇති බව සාක්ෂිවලින් පෙනී ගියද එම තත්ත්වය නිරාකරණය කිරීම සඳහාද අදාළ අවස්ථාවේදී වෛද්‍යවරු විසින් අවශ්‍ය පරීක්ෂණ හා පියවර ගෙන නොමැති බව අනාවරණය වන්නේ යැයිද විනිසුරුවරිය සිය නඩු තීන්දුවේ සඳහන් කර සිටියාය.

වෛද්‍යවරුන්ගේ නොසැලකිලිමත් ක්‍රියා කලාපයේ ප්‍රතිඵලයක් ලෙස ප්‍රසූත කළ දැරියට කතා කිරීමට, අතපය සෙලවීමට හා ඇවිදීමට නොහැකි තත්ත්වයකින් පවතින බවත් ඇය නිතරම වලිප්පුව වැනි රෝගී තත්ත්වයකින් පසුවන බවත් නඩු විභාගයේදී අනාවරණය විය. මෙම තත්ත්වය ඇයගේ ජීවිතාන්තය දක්වාම පවතින අතර ඇයට සාමාන්‍ය පුද්ගලයෙකු ලෙස කටයුතු කිරීමට හැකියාවක් නොමැති බව පැමිණිල්ල විසින් ඉදිරිපත් කළ සාක්ෂිවලින් තහවුරු කර ඇතැයි ද විනිසුරුවරිය තීන්දුවෙන් කියා සිටියාය.

ජීවිත කාලය පුරාම අදාළ දැරියට යැපීම සඳහා පමණක් නොව එදිනෙදා කටයුතු ඉටුකර ගැනීම සඳහා ද වෙනත් පුද්ගලයින් මත යැපීමට සිදු වන බව පැහැදිලිය. දැරියගේ මව සාක්ෂි දෙමින් ආබාධිත දැරිය ජීවත් කරවීම සඳහා විශේෂිත ආහාර ද්‍රව්‍ය, සනීපාරක්ෂක ද්‍රව්‍ය ඇතුළු කටයුතු සඳහා මාසයකට රුපියල් 70000/- ක පමණ මුදලක් වැය වන බව අධිකරණය හමුවේ ප්‍රකාශ කර තිබුණි. ඉදිරිපත් වූ සාක්ෂි විශ්ලේෂණය කිරීමේදී එම දැරිය ජීවත් කරවීම සඳහා දෙමව්පියන්ට අවම වශයෙන් මාසිකව රුපියල් 50,000 ක පමණ මුදලක් වැය වන අතර වසරකට රුපියල් ලක්ෂ 6ක් පමණ මුදලක් වැය වන බව පෙනී යන්නේ යැයි ද තීන්දුවේ සඳහන් වේ.

මෙම දැරියගේ ආයු අපේක්ෂාව අවුරුදු 50ක් වශයෙන් ගනනය කරන්නේ නම් එම කාල සීමාව තුළ ජීවත් වීම සඳහා ඇය වෙනුවෙන් රුපියල් මිලියන 30 ක පමණ මුදලක් වැය කිරීමට සිදුවන බව නඩු තීන්දුව තුළින් ගණනය කර තිබේ.

එමෙන්ම අදාළ දැරියගේ දෙමව්පියන්ගේ මරණයෙන් පසුවද ඇය රැක බලා ගැනීම සඳහා වූ නිශ්චිත වැඩපිළිවෙළක් රජය විසින් සකස් කොට නොමැත. එවැනි අවස්ථාවක පවා දැරිය වෙනුවෙන් වැය කළ හැකි මුදලක් ඇය සතුව තිබිය යුතු බව නඩු තීන්දුවෙන් පෙන්වා දී තිබේ.

මෙම සිද්ධියෙන් දරුවාට සිදුවූ අලාභය රුපියල් මිලියන 30ක් යැයි තක්සේරු කරන බවත් අධිකරණ තීන්දුවේ සඳහන් කොට ඇත. ඒ අනුව පැමිණිල්ලේ වාසියට නඩුව තීන්දු කළ විනිසුරුවරිය අදාළ දැරියට රුපියල් මිලියන 30 ක වන්දියක් ගෙවන ලෙස රජයට නියෝග කර තිබේ.

මෙම නඩුවේ වගඋත්තරකරුවන් ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් වරයා හා නීතිපතිවරයා නම් කර තිබුණි.

මෙම නඩුවේ පැමිණිලිකාර දැරිය වෙනුවෙන් නීතිඥ රවීන්ද්‍රනාත් දාබරේ ඇතුළු නීතිඥ මණ්ඩලයක් පෙනී සිටියහ.

Related posts

සපුගස්කන්ද තෙල් පිරිපහදුව යළි වැසේ

Mohamed Dilsad

“ඉන්දු – ශ්‍රී ලංකා සහයෝගිතාවයේ සීමාව අහසයි”

Mohamed Dilsad

රාජ්‍ය පොසොන් උත්සවය මිහින්තලයේදී

Mohamed Dilsad

Leave a Comment