(UTV | කොළඹ) – දරුණු ආර්ථික අර්බුදයකට මුහුණ දී සිටින ශ්‍රී ලංකාවේ සැබෑ දළ දේශීය නිෂ්පාදිතය මේ වසරේ සියයට 9.2කින් සහ 2023 වසරේදී තවත් සියයට 4.2කින් පහත වැටෙනු ඇතැයි අපේක්ෂා කරන බව ලෝක බැංකුව පවසයි.
දකුණු ආසියානු රටවල්වල ආර්ථිකය සම්බන්ධයෙන් ලෝක බැංකුව වසරකට දෙවරක් වාර්තා නිකුත් කරන අතර ඊයේ (ඔක්. 6) නිකුත් කළ ඔවුන්ගේ නවතම වාර්තාව වන Coping with Shocks: Migration and the Road to Resilience මේ බව සඳහන් කර තිබේ.
COVID-19 වසංගතය සහ යුක්‍රේන යුද්ධය හේතුවෙන් වාර්තාගත ලෙස ඉහළ ගිය භාණ්ඩ මිල ශ්‍රී ලංකාවට විශාල හානියක් සිදු කළ බව එම වාර්තාවේ දැක්වේ.
ලෝක බැංකුව පෙන්වා දෙන්නේ, ණය ප්‍රතිව්‍යුහගත කිරීම සහ ගැඹුරු ප්‍රතිසංස්කරණ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීම ශ්‍රී ලංකාවේ ආර්ථික ස්ථාවරත්වය සඳහා ඉතා වැදගත් වන බව ය.
එමෙන් ම, ආර්ථික අර්බුදය හේතුවෙන් අවදානමට ලක්වූවන් ආරක්ෂා කිරීම ඉතා වැදගත් බව ත් සමාජ ආරක්ෂණ පද්ධතිය ශක්තිමත් කිරීම කෙරෙහි අවධානය යොමු කරන අතර ම දිළිඳුම සහ වඩාත් ම අවශ්‍යතා ඇති අය ආරක්ෂා කිරීමට කඩිනම් ක්‍රියාමාර්ගයක් ගත යුතු බව ත් එහි සඳහන් කර ඇත.
අදාළ වාර්තාව මගින් පෙන්වා දෙන්නේ, ගෝලීය ආහාර හා බලශක්ති මිල ඉහළ යාම සහ කලාපයේ ආහාර අනාරක්ෂිතභාවය අයහපත් අතට හැරවූ වෙළඳ සීමා කිරීම් හේතුවෙන් දකුණු ආසියාවේ උද්ධමනය මේ වසරේ සියයට 9.2 දක්වා ඉහළ යනු ඇතැයි අපේක්ෂා කරන බව ය.
ඒ හේතුවෙන්, කලාපයේ වර්ධනය අඩාල වෙමින් පවතින බව ත් රටවල්වලට ඔරොත්තු දීමේ හැකියාව ගොඩනැගීමේ අවශ්‍යතාව ලෝක බැංකුව සිය වාර්තාව මගින් අවධාරණය කර ඇත.
ආර්ථික අර්බුදය හමුවේ, ශ්‍රී ලංකාවේ 2021 සහ 2022 වසර අතර දරිද්‍රතා ඇස්තමේන්තු සියයට 25.6 දක්වා දෙගුණ වී ඇති අතර, දරිද්‍රතාවයෙන් පෙළෙන පුද්ගලයින්ගේ සංඛ්‍යාව මිලියන 2.7කින් ඉහළ ගිය බව මාලදිවයින, නේපාලය සහ ශ්‍රී ලංකාව සඳහා වන ලෝක බැංකුවේ අධ්‍යක්ෂ Faris H. Hadad-Zervos අදාළ වාර්තාව පදනම් කරගනිමින් ප්‍රකාශ කර තිබේ.
ඔහු සඳහන් කර ඇත්තේ, අර්බුදයේ බලපෑම් අවම කර ගැනීමට සහ ජනතාවගේ දිගුකාලීන ඔරොත්තු දීමේ හැකියාව ගොඩනැගීම සඳහා කර්මාන්ත හා සේවාවල රැකියා ව්‍යාප්ත කිරීම ත් ආදායමේ සැබෑ වටිනාකම නැවත ඇති කර ගැනීම ත් ශ්‍රී ලංකාවට අවශ්‍ය වනු ඇති බව ය.
නැගෙනහිර සහ අග්නිදිග ආසියානු රටවල් සිය ආර්ථිකය ප්‍රකෘතිමත් වීම වේගවත් කිරීම සඳහා සිදු කළ සාර්ථක ප්‍රතිසංස්කරණ, ශ්‍රී ලංකාවට වඩා හොඳින් ගොඩනැගීමට පාඩම් සපයන බව ද ඔහු පෙන්වා දී තිබේ.
ඒ අනුව පළමුව, ව්‍යුහාත්මක දුර්වලතා ආමන්ත්‍රණය කිරීමට අවශ්‍ය කෙටි කාලීන ක්‍රියාමාර්ග, බාහිර බලපෑම් අවම කිරීමට සහ අනාගත බලපෑම්වලට ඔරොත්තු දීමේ හැකියාව ගොඩනැගීම මෙන් ම දෙවනුව, අනාගත වර්ධනය ප්‍රවර්ධනය කිරීම සඳහා තීරණාත්මක ප්‍රතිපත්ති ගැනීම එයින් ශ්‍රී ලංකාවට උගත හැකි බව ලෝක බැංකුව වැඩිදුරටත් සඳහන් කර ඇත.