දේශීයව්‍යාපාරික

ලෝක උරුම නකල්ස් මායිමේ හෝටල් සංකීර්ණයක්

(UTV | කොළඹ) – මධ්‍යම පරිසර අධිකාරියේ ඉහළ ම නිලධාරියෙකු සහ ඔහුගේ පුතු විසින් ඓතිහාසික, සංස්කෘතික සහ කෘෂිකාර්මික වශයෙන්ද අතිශය වැදගත් පාරිසරික සංවේදී භූමිභාගයක කරගෙන යනු ලබන හෝටල් සංකීර්ණයක් ඉදිකිරීමක තොරතුරු මාතලේ රත්කිඳ ප්‍රදේශයෙන් වාර්තා වේ.

ලෝක උරුම නකල්ස් රක්ෂිතයට මායිම්ව පිහිටි මේ ප්‍රදේශය හරහා මොරගහකන් ද ජලාශයට ජලය සපයන ප්‍රධාන මූලාශ්‍ර දෙකෙන් එකක් වන තේලගමුව ඔය ගලා යන අතර දීර්ඝකාලීනව කෘෂිකාර්මික කටයුතුවලට ජලය සපයන කටුපොල්ලන්ද කටුකිතුලේ ඇළ පිහිටා තිබෙන බව ද ගම්වැසියෝ පවසති.

එසේ ම, ඔයට මීටර් 100ක් පමණ නුදුරින් හෝටලයේ ඉදිකිරීම් සිදුවන අතර එහි සිට සංචාරකයන්ට ඔයට යාමට ගල් ඇතිරූ පඩිපෙළ සහිත මාර්ගයක් ද සැකසෙමින් පවතින බව ත් ප්‍රදේශවාසීහු කියති.

මේ ප්‍රදේශය වැලිවිට සරණංකර සඟරජ හිමියන් දිය නෑ තොටක් ලෙස ඇටම්වල ගම්වැසියන් විශ්වාස කරන අතර ඒ ආශ්‍රිතව ඔවුන් කිරි ඉතිරවීමේ මංගල්‍යයක් ද පවත්වන බව ත් සංචාරකයන් පැමිණීමත් සමඟ මේ සංස්කෘතික අගයන්ට හානි පැමිණිය හැකි බව ත් ඔවුන්ගේ අදහසයි.

හෝටලයට යාම සඳහා මාර්ගය ඉදි කිරීමේදී ඔයේ ජල පෝෂක ප්‍රදේශයට ද හානි වී ඇති බව ද ඔවුහු පෙන්වා දෙති.

එසේ ම, හෝටල් සංකීර්ණයට ළඟාවීම සඳහා අඩි 6ක් පළල, මීටර් 500ක දිගින් යුත් ප්‍රවේශ මාර්ගය නිම වෙමින් ඇත්තේ කටුකිතුලේ ඇළ හරහා බුලත්වැල්හේන මැදින් වන අතර මේ වනවිට එහි මීටර් 200ක පමණ කොටසක වැඩ අවසන්ව ඇති බව ත් ගම්වැසියෝ කීහ.

මේ ඉදිකිරීම් නිසා ඇළ ඉවුරුවල ස්වාභාවික ගල් පවා ඉවත් කරනු ලැබ ඇති අතර එමගින් ඇළ මාර්ගය ඛාදනය වීමක් ද රොන් මඩ ගලා යාම නිසා තේලගමු ඔයේ ජල දූෂණයවීමේ අවදානමක් පවතින බවත් ගම්වැසියන් පෙන්වා දී ඇත.

කුඹුරු හිමියන්ට විවිධ උපකාර කර, කුඹුරු කරා හොඳ පිවිසුම් මගක් සකසා දෙන බව ඒත්තු ගන්වා ඔවුන් ලවා පල්ලේගම ප්‍රාදේශීය ලේකම්වරයා වෙතින් ගත් අවසරයක් හැරෙන්නට ප්‍රදේශයේ මධ්‍යම පරිසර අධිකාරියෙන්, වන සංරක්ෂණ අධිකාරියෙන්, කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙන් කිසිදු නෛතික අවසරයක් මේ හෝටලය ඉදිකිරීම සඳහා මේ වනතුරු ලබාගෙන නැත.

Related posts

සජිත් ප්‍රේමදාස ඇතුළු 99 කගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි

Mohamed Dilsad

රාජ්‍ය සේවකයින්ට අතිවිශේෂ දැනුම්දීමක්

Mohamed Dilsad

විදුලි කප්පාදුව ගැන විදුලිබල මණ්ඩලයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට ප්‍රතිඥාවක්

Mohamed Dilsad

Leave a Comment