ක්‍රීඩා

ශ්‍රී ලංකා පිල අවසන් පූර්ව වටයට

(UTV | කොළඹ) –  ආසියානු කුසලාන කාන්තා පන්දුවාර විස්සයි විස්ස ශූරතා තරඟාවලියේ බංගලාදේශට එරෙහි තරඟය ලකුණු 3කින් තියුණු ජයක් ලැබීමත් සමග ශ්‍රී ලංකා කණ්ඩායම එම තරඟාවලියේ අවසන් පූර්ව වටයට අද සුදුසුකම් ලැබීය. ඒ අනුව තරඟාවලියේ මේ දක්වා මුහුණ දුන් තරඟ 5න් 4ක් ම ජයගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් සමත්විය.

අද තරඟයේ මුලින්ම පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් පන්දු යවන්නන්ට හිතකර පිටියේ 19 වැනි පන්දුවාරයේ වර්ෂාව නිසා තරඟය නතර කරන විට ලබාසිටියේ කඩුලු 5ක් දැවී ලකුණු 83ක් පමණි. ශ්‍රී ලංකාව වෙනුවෙන් නිලක්ෂි ද සිල්වා ලකුණු 28ක් සහ තරඟාවලිය පුරාම පිත්තෙන් දස්කම් දක්වන හර්ෂිතා සමරවික්‍රම ලකුණු 18ක් ලබාගැනීමට සමත්විය.

බංගලාදේශය වෙනුවෙන් රුමානා අහමඩ් ලකුණු 14කට කඩුලු 2ක් ලබාගැනීමට සමත්කම් දැක්වීමය. වාර්ෂාව හේතුවෙන් තරඟයේ ඉලක්කය වෙනස්කරනු ලැබූ අතර, ඩක්වත් සහ ලුවිස් න්‍යාය අනුව බංගලාදේශ කණ්ඩායම පන්දුවාර 7කදී ලකුණු 41ක ඉලක්කයක් ලබාගත යුතුව තිබුණි.

කෙසේ වෙතත් ඔවුන්ට පන්දුවාර 7ක් අවසානයේ කඩුලු 7ක් බිඳවැටී ලබාගත හැකිවූයේ ලකුණු 37ක් පමණකි. එහිදී අත්දැකීම් බහුල පන්දු යවන්නිය ඉනෝකා රණවීර ලකුණු 7කට කඩුලු 4ක් බිඳ දමමින් බංගලාදේශ ඉනිම විනාශ කරන්නට සමත්විය.ඒ අනුව ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට ලකුණු 3ක තියුණු ජයක් හිමිවිය.

තරඟාවලිය යටතේ ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට පාකිස්ථානය සමග එක් තරඟයකට මුහුණදීමට සිදුවන නමුත් මේ වනවිටත් පාකිස්ථානය සහ ශ්‍රී ලංකාව යන කණ්ඩායම් දෙකම අවසන් පූර්ව වටයට තේරී අවසන්ය.

Related posts

LPL තරඟාවලිය සඳහා නම්කර ඇති විදෙස් ක්‍රීඩකයන් මෙන්න

Mohamed Dilsad

එක්දින ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියට සෘජුව සුදුසුකම් ලබා ගැනීමට තවමත් ශ්‍රී ලංකාවට අවස්ථාව

Mohamed Dilsad

මතීෂ ව මඟහැරුණු හැටි කියයි

Mohamed Dilsad

Leave a Comment