විදෙස්

‘අයින්ස්ටයින්ගේ බුද්ධි මට්ටම අභිබවා ගිය’ දසහැවිරිදි ශ්‍රී ලාංකික දියණිය

(UTV | කොළඹ) – ලොව මෙතෙක් බිහිවූ විශිෂ්ටතම විද්‍යඥයින් දෙදෙනෙකු ලෙස සැලකෙන ඇල්බර්ට් අයින්ස්ටයින් සහ ස්ටීවන් හෝකින්ස්ගේ IQ මට්ටම ඉක්මවා ගිය ශ්‍රී ලාංකික සම්භවයක් සහිත දැරියක පිළිබඳව එක්සත් රාජධානියෙන් වාර්තා වේ.

අරියානා හීමාල් ධර්මසේන නමැති 10 හැවිරිදි පාසල් දැරියක මෙම දක්ෂතාව දක්වා තිබේ.

ඇයට ඒ වෙනුවෙන් පිරිනමා ඇති සහතික පත්‍රයේ දැක්වෙන් පරිදි Mensa බුද්ධි පරීක්ෂණයෙන් ඇය ලකුණු 162ක් හිමිකරගෙන ඇති අතර, එය “genius” මට්ටම ලෙස හඳුන්වා ඇත.

මෙම දක්ෂතාව හේතුවෙන් ඇයට මෙන්සා උසස් බුද්ධි සමාජයේ සාමාජිකත්වය ද පිරිනමා තිබේ.

ඇල්බර්ට් අයින්ස්ටයින් සහ ස්ටීවන් හෝකින්ස්ගේ බුද්ධි මට්ටම 160ක් ලෙස ඇස්තමේන්තුකර ඇති හෙයින් ඇයගේ බුද්ධි මට්ටම ඔවුන්ගේ මට්ටම ඉක්මවා යාමක්බව බ්‍රිතාන්‍ය මාධ්‍ය වාර්තාකර තිබේ.

අරියානා දැරියගේ මවුපියන් වන ජානක දඹරව හේවගේ සහ මේකලා පෙරේරා බ්‍රිතාන්‍යයේ හඩර්ස්ෆීල්ඩ්හි පදිංචිවී සිටිති.

අරියානා අධ්‍යාපනය ලබන්නේ, හඩර්ස්ෆීල්ඩ්හි ශාන්ත පැට්‍රික් කතෝලික ප්‍රාථමික පාසලේ ය. ඇයගේ අනාගත අපේක්ෂාව වී ඇත්තේ, ප්‍රසිද්ධ විද්‍යාඥවරියක බවට පත්වීම ය.

2012 වසරේ දී බ්‍රිතාන්‍යයේ උපත ලැබූ අරියානාගේ මවුපියන් ශ්‍රී ලංකාවේ මාතලේ ප්‍රදේශයේ පදිංචි වී සිට ඇති අතර, 2009 වසරේ දී බ්‍රිතාන්‍යයේ පදිංචියට ගිය බව මව වන මේකලා පෙරේරා BBC සිංහල සේවයට පැවසීය.

“දුව විද්‍යාවට සහ ගණිතයට ගොඩක් දක්ෂයි. ඉංග්‍රීසි වගේම සිංහල භාෂාවත් එයා ගොඩක් හොඳට කතා කරනවා. ගොඩක් පොත් කියවන්න කැමතියි. එයා අපට ලැබුණ තෑග්ගත් විදිහටයි අපට හිතෙන්නේ,” මේකලා පෙරේරා සඳහන් කළා ය.

මේකලා පෙරේරා කැලණිය විශ්වවිද්‍යාලයයේ ජාත්‍යන්තර අධ්‍යයන පිළිබඳ උපාධිධාරිණියක වන අතර ඇයගේ සැමියා වන ජානක දඹරව හේවගේ බැංගලෝර් විශ්වවිද්‍යාලයයේ තොරතුරු තාක්ෂණය පිළිබඳ උපාධිධරයෙකි.

මේ වන විට ඔහු බ්‍රිතාන්‍යයේ සමාගමක ව්‍යාපෘති කළමනාකරුවෙකු ලෙස සේවය කරයි.

“මගේ දුව හැම පරීක්ෂණයකින්ම ගොඩක් ලකුණු ගන්නවා. එයා නිතරම කාලය හරහා ගමන් කිරීම ගැන කතා කරනවා,” ජානක දඹරව හේවගේ පැවසීය.

අරියානා විෂය බාහිර ක්‍රියාකාරකම් රැසක් ද නිරත වන බව ඔහු සඳහන් කළේ ය.

BBC සිංහල සේවයට අදහස් දක්වමින් අරියානා ශ්‍රී ලාංකික ළමා පරපුරට විශේෂ පණිවුඩයක් ද ඉදිරිපත් කළා ය.

“සෑම දරුවෙකුටම යම් හැකියාවක් තිබේ. එය හඳුනාගෙන, දියුණුකර ගැනීම ඔවුන් විසින්ම කරනු ලැබිය යුතු ය.”

Related posts

ලෝක සෞඛ්‍ය සංවිධානය යළිත් අනතුරු අඟවයි

Mohamed Dilsad

මාලි රාජ්‍යදී මිය ගිය සෙබළුන්ට වන්දියක්

Mohamed Dilsad

ඉන්දුනීසියාවේ නගර කිහිපයට විදුලි බිඳවැටීමක්

Mohamed Dilsad

Leave a Comment