දේශීය

පාකිස්තාන බිත්තර ගැන මෙරට නිලධාරිනිය කී දෙයට එරටින් විරෝධය

බිත්තර මිල සූත්‍රයක් සැකසීම දැනට කෙටුම්පත් අදියරේ පවතින අතර ඊට පත්කර සිටින කමිටුව හෙට (25) අවසන් තීරණයක් ගැනීමෙන් පසු තමන් එය කෝප් කමිටුවට දැනුම් දෙන බව සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය හේමාලි කොතලාවල මහත්මිය පැවසුවාය.

 

ඒ අතර සමස්ත ලංකා බිත්තර වෙළෙඳ සංගමය පෙන්වා දෙන්නේ කුකුළු කෑම ඇතුළු අමුද්‍රව්‍ය මිල ගණන් පහළයාම නිසා බිත්තර නිෂ්පාදන මිල මේ වනවිට බොහෝසෙයින් අඩුවී ඇති බවය.

 

දේශීයව බිත්තරයක නිෂ්පාදන වියදම මේ වනවිට රජය පනවා ඇති රුපියල් 44 උපරිම මිලටත් වඩා පහළ බැස ඇති බැවින් ඉදිරියේදී බිත්තර මිල අඩුකළ හැකි බව සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව ඊයේ අනාවරණය කළේය.

 

එහෙත් එම දෙපාර්තමේන්තුව යටතේ සිටින රජයේ පශු වෛද්‍ය නිලධාරීන් පවසන්නේ වෙළෙඳපොලේ සත්ත්ව ආහාර මිල තවමත් අඩුවී නොමැති බවය.

 

මෙවන් පසුබිමක බිත්තර සඳහා උපරිම සිල්ලර මිලක් නියමකරමින් පසුගිය 20 වනදා රජය නිකුත් කළ ගැසට් නිවේදනයට අනුව වෙළෙඳපොළ තුළ බිත්තර අලෙවි කිරීමට බිත්තර නිෂ්පාදකයින්ගේ සංගම් ඊයේ ආහාර සුරක්ෂිතතාව පිළිබඳ කමිටුව සමග පැවති සාකච්ඡාවේදී එකඟතාව පළ කර තිබුණි.

 

නමුත් අද වනවිට වෙළෙඳපොළේ එම මිල ගණන්වලට බිත්තර දක්නට නොලැබුණු අතර බිත්තර හිඟයක්ද දක්නට ලැබුණි.

 

මේ අතර වැඩි මිලට බිත්තර අලෙවි කරන වෙළෙඳුන් සොයා පාරිභෝගික කටයුතු අධිකාරිය ආරම්භ කළ වැටලීම් අද දිනයේත් ක්‍රියාත්මක කෙරුණි.

 

මෙරට සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ විශේෂඥ කමිටුව බිත්තර ආනයන ක්‍රියාවලියට මෙතෙක් අවසර ලබානොදුන් පසුබිමක එහි අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය හේමාලි කොතලාවල මහත්මිය පසුගිය 11 වනදා ප්‍රකාශ කළේ පාකිස්තානයෙන්ද කුරුළු උණ වාර්තාවී ඇති බවය.

 

ඇය සිදුකළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් කොළඹ පිහිටි පාකිස්තාන මහ කොමසාරිස් කාර්යාලය මෙරට විදේශ කටයුතු අමාත්‍යංශයට ලිපියක් යොමු කර තිබුණි.

 

එහි දැක්වෙන්නේ ශ්‍රී ලංකා සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්, ආචාර්ය හේමාලි කොතලාවල මහත්මිය උපුටා දක්වමින් මාධ්‍ය වාර්තා කළ පරිදි පාකිස්තානයේ කුරුළු උණ ව්‍යාප්තියක් නොමැති බවය.

 

2008 වසරෙන් පසු පාකිස්තානයෙන් කුරුළු උණ වාර්තාවී නොමැති අතර එක්සත් අරාබිය, සෞදි අරාබිය, හොංකොං ඇතුළු රටවල් සඳහා බිත්තර අපනයනය සිදුකරන බවය.

 

තහවුරු නොකළ ප්‍රකාශ මගින් පාකිස්තානයේ අපනයන කටයුතුවල කීර්ති නාමය පළුදු වන බව අදාළ ලිපිය මගින් දන්වා තිබේ.

 

ශ්‍රී ලංකාවේ ආනයනයකරුවන්ට සැකයකින් තොරව පාකිස්තානයෙන් බිත්තර ලබාගත හැකි බවත් එහි සඳහන්ය.

Related posts

අන්තර්ජාලයේ ප්‍රචණ්ඩත්වය මුදා හරින වීඩියෝ ගැන විමර්ශනයක්

Mohamed Dilsad

හෙරොයින් කිලෝවක් සමඟ කාන්තාවක අත්අඩංගුවට

Mohamed Dilsad

ණයහිමියන්ට ජනපතිගෙන් සහතිකයක්

Mohamed Dilsad

Leave a Comment