දේශීය

16 හැවිරිදි සිසුවාගේ මරණයට වගකිවයුත්තා හඳුනාගනී

මීට වසරකුත් මාස 2කට පමණ ඉහතදී බණ්ඩාරගම ගුන්ගමුව ප්‍රදේශයේ සිය නිවස තුළදී සියදිවි නසා ගත් 16 හැවිරිදි පාසල් සිසුවාගේ මරණයට වගකිවයුත්තා පැහැදිලිව හඳුනාගෙන ඇතැයි පානදුර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සමන්ත වෙදගේ මහතා පැවසීය.

 

මෙලෙස අවාසනාවන්ත ලෙස මියගොස් තිබුණේ අශේන් ඉසුරු වික්‍රමආරච්චි නමැති පාසල් සිසුවෙකි.

 

2021 ඔක්තෝම්බර් 11 වැනි දින නිවසේ කිසිවෙක් නොමැති අවස්ථාවේදී සිසුවා එල්ලී මියගොස් තිබිණි.

 

තම එකම දරුවා ට අකාලයේ මිය යාමට තරම් කිසිදු හේතුවක් නොමැති බවත් ඒ සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් පවත්වන ලෙසත් දරුවාගේ පියා පානදුර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සමන්ත වෙදගේ මහතා හමුවට ගොස් පැමිණිලි කර තිබුණි.

 

එම පැමිණිල්ල සම්බන්ධයෙන් විශේෂ අවධානය යොමුකර විශේෂ පොලිස් කණ්ඩායමක් යොදවා නවීන තාක්ෂණය උපයෝගී කරගෙන සිදුකළ දීර්ඝ විමර්ශනයේදී කිසියම් පුද්ගලයකු එම සිසුවාව රවටා සිසුවාගෙන් කප්පම් වශයෙන් මුදල් සහ පෙරගෙවුම් කාඩ්පත් කාලයක් තිස්සේ ලබාගෙන තිබූ බව අනාවරණය කරගැනීමට සමත්වී ඇත.

 

ආදායමක් නොමැති මියගිය සිසුවා ඔහු වෙත එම මුදල් ලබාදී ඇත්තේ සිය පියා බුලත්විට විකුණා උපයන ආදායමෙන් පියාට නොදැනෙන්නට සොරාගෙන බව පැමිණිලිකාර පියාගේ ලබාගත් ප්‍රකාශ වලින් අනාවරණය කර ගැනීමට හැකි වී ඇත.

 

ඒ බව තව තවත් තහවුරු කරමින් සිසුවා ගේ කාමරයේ තැන තැන සඟවා තිබූ සූරන ලද පෙරගෙවුම් කාඩ් රැසක් ද පොලිසියට හමුවිය.

 

එම පුද්ගලයාට පෙර අයුරින් සිසුවාගෙන් එම කප්පම් මුදල් සහ පෙර පෙරගෙවුම් කාඩ්පත් නොලැබීමෙන් පසු මියගිය සිසුවාගේ සමීපතමයින් මරාදමන බවට ද තර්ජනය කිරීම හේතුවෙන් සිසුවා තව තවත් මානසික අසරණභාවයට පත්ව ජීවිතයට සමුදීමට තීරණය කිරීම හේතුවෙන් මෙම අවාසනාවන්ත අභිරහස් මරණය සිදුවී ඇති බව සක් සුදක් සේ පැහැදිළිවන බව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා කීය.

 

සිසුවාගේ මරණයට හේතු පාදක වූ සියලු කරුණු මේ වනවිට සියල්ල අනාවරණය කරගෙන ඇති බවත් නීතිපති උපදෙස් ලැබුණු වහාම නීතිය ක්‍රියාත්මක කරන බවත් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා වැඩිදුරටත් පැවසීය.

Related posts

පාසල් ආරම්භ වීම ගැන ප්‍රකාශයක්

Mohamed Dilsad

රත්නපුරට හා පැල්මඩුල්ලට නැවත දන්වන තුරු ඇඳිරි නීතිය

Mohamed Dilsad

හැකියාවක් නැති නායකයන් රටට ගෝනිබිල්ලන් මවනවා – විපක්ෂ නායක

Editor O

Leave a Comment