දේශීය

පොත්වල PDF අනවසරෙන් මුදාහරින ජාවාරමක්

යළි නොලියමි ” යන උදෘතය රැගත් හෑෂ් ටැගයක් මේ දිනවල සමාජ මාධ්‍යයේ සංසරණය වන අතර මෙරට ප්‍රවීණ සහ සම්මානනිය ලේඛකයින් රැසක් සිය සමාජ මාධ්‍ය ගිණුම් තුළ එයට සහාය පළ කර තිබුණි.

 

ඒ තමන් විසින් රචිත ග්‍රන්ථ අනවසරෙන් උපුටාගෙන PDF ආකාරයෙන් සකස් කර අන්තර්ජාල ඔස්සේ බෙදාහැර මුදල් ඉපයීමේ සංවිධානාත්මක වැඩපිළිවෙළට එරෙහිවය.

 

ලේඛකයින් පවසන්නේ පාඨකයාට නොමිලේ කියවීමට අවස්ථාව සලසන මුවාවෙන් සංවිධානාත්මක කණ්ඩායම් විසින් මෙහෙයවන මෙම වැඩපිළිවෙළ හේතුවෙන් අද වන විට මෙරට පොත් ප්‍රකාශන කර්මාන්තයට දැඩි බලපෑමක් එල්ල වී ඇති බවය.

 

ප්‍රවීණ ලේඛක, චන්දන මෙන්ඩිස් මහතා,

 

“තමන් මහන්සිවෙලා මුදල් උපයාගන්නවා මිසක් වෙන මුදල් ලැබෙන ක්‍රමයක් නැහැ. තමන් බොහෝම වෙහෙස මහන්සි වෙලා ලියපු පොතක් ඒ පොත පිටකරනකොට ම PDF එකක් වැටිලා තියෙනවා දැක්කහම කවුරුත් ඒ පොත මිලදී ගන්නේ නෑ. ඒ දරපු මහන්සියත් වියදමත් අපතේ යනවා.”

 

ලේඛිකා, චන්දි කොඩිකාර මහත්මිය,

 

“සමහර වෙලාවට පාඨකයෝ දන්නෙත් නෑ හොර රහසේ මේවා ගන්නේ කියලා. පාඨකයෝ හිතාගෙන ඉන්නේ අපිට යම් ආදායමක් ලැබෙනවා කියලා ඒකෙන්. ඔවුන් සමහර වෙලාවට අහනවා ඊළඟ පොත PDF කරලා කවද්ද දාන්නේ කියලා. එතකොට තමා අපි දන්නේ මෙහෙම දෙයක් කරනවා කියලා.”

 

ලේඛක දිලීප ජයකොඩි මහතා,

 

“කෙනෙක් මහන්සියෙන් වැඩ කරලා, පඩි දවසේ තමන්ගේ පඩිපත අරගෙන ගෙදර යද්දි කවුරු හරි පිට් පොකට්කාරයෙක් බලාගෙන ඉඳලා බස් එකේ දී පර්ස් එක ගන්නවා වගේ වැඩක් හා සමානයි මේක.”

 

ලේඛක, මංජුල සේනාරත්න මහතා,

 

“මේ හොරකමට විරුද්ධව තමා මම නොලියමි ව්‍යාපාරයට අතගැසුවේ. ඒකෙන් අදහස් වෙන්නේ නෑ මම ජීවිත කාලය පුරාම ලියන්නේ නෑ කියලා. මොකද මම පෞද්ගලිකව ඉල්ලා සිටිනවා හැම ලේඛකයෙකුටම, ප්‍රකාශයෙකුටම මේ හොර PDF එපා ව්‍යාපාරයට එකතු වෙන්න කියලා.”

 

එමෙන්ම මෙම අනවසර PDF ජාවාරම හමුවේ පාඨකයන් පොත් මිලදී ගැනීමෙන් යම් තරමකට ඈත්වෙන බවත්, ඒ හරහා පොත් අලෙවිය පහළ වැටීමෙන් පොත් ප්‍රකාශක කර්මාන්තය ආශ්‍රිත විවිධ රැකියාවල යෙදෙන්නන්ගේ වෘත්තීමය පැවැත්මට පහර එල්ල වී ඇති බවත් පොත් ප්‍රකාශකයින් පෙන්වා දෙයි.

 

කර්තෘ භාගය ලබා නොදෙමින් ලේඛකයාගේ අවසරයකින් තොරව අනවසර PDF අන්තර්ජාලයට මුදා හැරීමට එරෙහිව පවතින නීතිය සම්බන්ධයෙන් අප නීති ක්ෂේත්‍රයේ ප්‍රවීනයෙකු වන මහාචාර්ය නීතිඥ ප්‍රතිභා මහානාමහේවා මහතාගෙන් විමසීමක් කළේය.

 

“සාමාන්‍යයෙන් පොතක් මුද්‍රණය කරාම ඒ පොතේ අයිතිය කතෘවරයාට තමා ලැබෙන්නේ. කතෘවරයාගේ නිසි අවසරයකින් තොරව මුළු පොතම හෝ කොටසක් උපුටාගැනීම සපුරා තහනම්. ඉනිත් මෙට 2003 බුද්ධිමය දේපළ පනතේ 6 වන වගංතිය උල්ලංඝනය කිරීමක්. මෙවැනි අයට එරෙහිව කතෘවරයාගේ අයිතීන් රකින්න තමයි ජාතික බුද්ධිමය දේපළ ආයතනය තියෙනවා. එසේත් නැතිනම් අපිට යන්න තියෙන්නේ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට. ඒ නිසා දැනගත්තු ගමන් පැමිණිලි කරන්න. ඒ නිසා කතෘවරුන්ගේ සංසදය, පොත් නිෂ්පාදනය කරන්නන්ගේ සංගමය සියලුදෙනාම දැන් එකට එකතුවෙන්න. එකතුවෙලා සංවිධානයක් විදිහට ඒ සම්බන්ධයෙන් ක්‍රියාකරන්න.”

 

 

Related posts

BOI සහ EDB කර්මාන්ත ශාලා අධීක්ෂණය යටතේ පවත්වාගෙන යා හැකියි [RELEASE]

Mohamed Dilsad

බස් රථවල සහ දුම්රියේ ආසන ගණනට මගීන් ප්‍රවාහනයට හෙට සිට අවසර

Mohamed Dilsad

අනුරාධපුර බන්ධනාගාරයේ නොසන්සුන්කාරී තත්ත්වයක්

Mohamed Dilsad

Leave a Comment