දේශීය

ෂාෆ්ටර් මරණය – මහෙස්ත්‍රාත් නියෝග දෙකක් දෙයි

ව්‍යාපාරික දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ මරණයට හේතුව නිගමනය කිරීම සඳහා විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරීන්ගෙන් සමන්විත පංච පුද්ගල කමිටුවක් පත්කිරීමට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය අද (17) තීන්දු කළේය.

 

කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් රජින්ද්‍රා ජයසූරිය මහත්මිය එම නියෝගය අද ප්‍රකාශයට පත්කළාය.

 

නියෝගය ප්‍රකාශයට පත්කරමින් මහෙස්ත්‍රාත්වරිය සඳහන් කළේ මරණකරුගේ මරණයට සම්බන්ධ පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාවේ මුල් පිටපත හා අවසන් සවිස්තර වාර්තාව අතර පරස්පරතා නිරීක්ෂණය වන බවය.

 

එම තත්ත්වය යටතේ මරණකරුගේ මරණයට හේතුව නිගමනය කිරීම අපහසු බවත් මහෙස්ත්‍රාත්වරිය සඳහන් කළාය.

 

ඒ අනුව මරණකරුගේ මරණයට හේතුව නිගමනය කිරීම සඳහා වොහාරික විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරීන්ගෙන් සමන්විත පංච පුද්ගල කමිටුවක් පත් කිරීමට තමන් තීරණය කරන බවත් මහෙස්ත්‍රාත්වරිය සඳහන් කළාය.

 

තමන් නියෝග දෙකක් නිකුත් කරන බවත් මහෙස්ත්‍රාත්වරිය කියා සිටියාය.

 

ඒ අනුව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙත නියෝගයක් නිකුත් කළ මහෙස්ත්‍රාත්වරිය මෙරට ජ්‍යෙෂ්ඨත්වය අනුව ඉදිරියෙන් සිටින අධිකරණ වෛද්‍ය නිලධාරීන්ගේ නාමලේඛනයක් අධිකරණය වෙත ඉදිරිපත් කරන ලෙස නියෝග කළාය.

 

ඊට අමතරව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම වෙත තවත් නියෝගයක් නිකුත් කළ මහෙස්ත්‍රාත්වරිය වෝහාරික වෛද්‍ය විද්‍යාව පිළිබඳ විශේෂඥතාවයක් දරන ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරුන්ගේ නාම ලේඛනයක් ඉදිරිපත් කරන ලෙසද නියෝග කර සිටියාය.

 

එම නාමලේඛන දෙක ලැබීමෙන් අනතුරුව මරණකරුගේ මරණයට හේතුව නිගමනය කිරීම සඳහා අවශ්‍ය කරන පංච පුද්ගල කමිටුව නම් කරන බවත් මහෙස්ත්‍රාත්වරිය පැවසුවාය.

 

ඒ අනුව මෙම නියෝග සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාට සහ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම වෙත භාරදෙන මෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට නියෝග කළ මහෙස්ත්‍රාත්වරිය, පැමිණිල්ල නැවත පෙබරවාරි මස 20 වනදා කැඳවන ලෙසද නියෝග කර සිටියාය.

 

අද දින මරණ පරීක්ෂණය කැඳවූ අවස්ථාවේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් ජනක බණ්ඩාර මහතා අධිකරණය හමුවේ ඉල්ලීමක් කරමින් මෙම සිද්ධියට අදාළව කරුණු දැක්වීමට අවසර දෙන ලෙස ඉල්ලීමක් කළේය.

 

එහිදී මහෙස්ත්‍රාත්වරිය සඳහන් කළේ, මෙම සිද්ධියට අදාළ සාක්ෂි සටහන් කරගැනීම තමන් දැනටමත් අවසන් කර ඇති බවත් මරණයට හේතුව පිළිබඳ නියෝග නිකුත් කිරීමට පමණක් ඉතිරිව තිබෙන බවය.

 

 

Related posts

මෙරටට ගෙන්වීමට නියමිත කිරි ගවයන් රජයේ ගොවිපල සඳහා පමණයි

Mohamed Dilsad

අද හෙටම දේශපාලන පෙරළියක් ?

Mohamed Dilsad

සිසුන් ප්‍රවාහනය සඳහා සිසු සැරිය බස් රථ සංඛ්‍යාව වැඩි කිරීමට සුදානම්

Mohamed Dilsad

Leave a Comment