දේශීය

මානව හිමිකම් කොමිසමේ පැමිණිල්ලත් ප්‍රතික්ෂේප කෙරේ

ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම විසින් ලංකා විදුලිබල මණ්ඩලය සහ එහි සභාපතිවරයා ඇතුළු පාර්ශ්ව කිහිපයකට එරෙහිව ඉදිරිපත් කළ පැමිණිල්ල විභාගයට නොගෙන ප්‍රතික්ෂේප කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර තිබේ.

 

අ.පො.ස උසස් පෙළ විභාගය පැවැත්වෙන සමයේ විදුලි කප්පාදු නොකරන ලෙස ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම විසින් නිකුත් කළ විධානයක් උල්ලංඝනය කිරීම තුළින් එම කොමිසමට අපහාසයක් සිදු කළේ යැයි චෝදනා කරමින් එම පැමිණිල්ල ඉදිරිපත් කර තිබුණි.

 

පුරා දින දෙකක් තිස්සේ දීර්ඝ කරුණු අධ්‍යයනයකින් අනතුරුව අද (10) දින සිය තීන්දුව ප්‍රකාශයට පත් කරමින් ගාමිණී අමරසේකර, කුමුදුනි වික්‍රමසිංහ සහ ශිරාන් ගුණරත්න යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් මෙම නියෝගය ලබාදුනි.

 

තීන්දුව ප්‍රකාශයට පත් කරමින් විනිසුරු ගාමිණී අමරසේකර මහතා සඳහන් කළේ මෙම පෙත්සමේ වගඋත්තරකරුවන්ට නොතීසි නිකුත් කිරීමට තරම් ප්‍රමාණවත් කරුණු අනාවරණය නොවන බවය.

 

ඒ අනුව වගඋත්තරකරුවන්ට නොතීසි නිකුත් කිරීම ප්‍රතික්ෂේප කරන බවත් විනිසුරු මඩුල්ල සඳහන් කර තිබුණි.

 

අ.පො.ස උසස් පෙළ විභාගය පැවැත්වෙන ජනවාරි මස 23 වනදා සිට පෙබරවාරි මස 17 වනදා දක්වා කාලසීමාව තුළ කප්පාදුවකින් තොරව අඛණ්ඩව විදුලිය සපයන බවට විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ ලේකම්වරයා, ලංකා විදුලිබල මණ්ඩලය, මහජන උපයෝගීතා කොමිසම සහ ඛනිජ තෙල් නීතිගත සංස්ථාව තම කොමිසම හමුවේ සමථයකට එළඹුණු බවත් පසුව එය විධානයක් වශයෙන් නිකුත් කිරීමට කටයුතු කළ බවත් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම විසින් අධිකරණයට ඉදිරිපත් කළ පැමිණිල්ල මගින් සඳහන් කර තිබුණි.

 

පසුව එම විධානය ක්‍රියාත්මක කිරීම පැහැර හැරීම තුළින් මානව හිමිකම් කොමිසමේ අධිකාරි බලයට අගෞරව කර අපහාසයක් සිදු කර ඇතැයි චෝදනා කරමින් එම කොමිසම විසින් මෙම පැමිණිල්ල ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ඉදිරිපත් කරණු ලැබීය.

 

එහෙත් බලශක්ති අමාත්‍යාංශයේ ලේකම්, ලංකා විදුලිබල මණ්ඩලය, ඛනිජ තෙල් නීතිගත සංස්ථාව වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු අධිකරණය හමුවේ සඳහන් කර සිටියේ මානව හිමිකම් කොමිසමට මෙවැනි පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට නීතිමය බලයක් නොමැති බවය.

 

එබැවින් අදාළ පැමිණිල්ල ප්‍රතික්ෂේප කරන ලෙසත් ඔවුන් අධිකරණයෙන් ඉල්ලා තිබුණි

Related posts

Image Expo 2023′ ප්‍රදර්ශනය නැරඹීමට ජනපති එක්වෙයි

Mohamed Dilsad

නත්තල් දිනයේ දේවස්ථාන අවට ආරක්ෂාව තර කරයි.

Editor O

අද රාත්‍රී 8 න් පසුව යළිත් මුළු දිවයිනටම ඇඳිරි නීතිය

Mohamed Dilsad

Leave a Comment