දේශීය

මෛත්‍රීගේ පෙත්සම විභාගයට ගැනීමට අභියාචනාධිකරණය තීරණය කරයි

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් තමන්ට එරෙහිව ගොනුකර තිබෙන පෞද්ගලික පැමිණිල්ලක් බලරහිත කරන ලෙස ඉල්ලා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ඉදිරිපත් කළ රිට් පෙත්සම පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් ඉදිරියේ විභාගයට ගැනීමට අභියාචනාධිකරණය අද (14) තීරණය කළේය.

 

එම පංච පුද්ගල විනිසුරු මඩුල්ල සඳහා අභියාචනාධිකරණයේ සිටින ජ්‍යෙෂ්ඨතම විනිසුරුවන් පත් කිරීමට පියවර ගන්නා බවත් අභියාචනාධිකරණයේ සභාපති නිශ්ශංක බන්දුල කරුණාරත්න මහතා නිවේදනය කර සිටියේය.

 

මෛත්‍රිපාල සිරිසේන මහතා ඉදිරිපත් කළ රිට් පෙත්සම විභාග කොට අවසන් තීන්දුවක් ප්‍රකාශයට පත් කරන තුරු ඔහුට එරෙහිව කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයේ පවතින පුද්ගලික පැමිණිල්ල කැඳවීමකින් තොරව බහා තබන ලෙසත් අභියාචනාධිකරණය විසින් කොටුව මහෙස්ත්‍රාත්වරයාට නියෝග කළේය.

 

අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ ඒ. මරික්කාර් යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල විසින් එම නියෝගය නිකුත් කළේය.

 

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වීමට නියමිත බවට බුද්ධි තොරතුරු ලැබී තිබියදී එය නොසලකා හැර සාපරාධී ලෙස රාජකාරිය පැහැරහැරීම සම්බන්ධයෙන් සිරිල් ගාමිණී පියතුමා ඇතුළු දෙදෙනෙකු විසින් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට එරෙහිව කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ පුද්ගලික පැමිණිල්ලක් ඉදිරිපත් කළේය.

 

එම පැමිණිල්ල සලකා බැලූ කොටුව මහෙස්ත්‍රාත්වරයා අදාළ පැමිණිල්ලේ සැකකරුවකු වශයෙන් නම් කර සිටින විට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට අධිකරණයේ පෙනී සිටින්නැයි දන්වා සිතාසි නිකුත් කර තිබුණි.

 

අදාළ සිතාසිය නිකුත් කර තිබෙන ආකාරය නීතියට පටහැනි බවත් එබැවින් එය බලරහිත කිරීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලමින් මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් අභියාචනාධිකරණය හමුවේ මෙම පෙත්සම ඉදිරිපත් කර තිබේ.

Related posts

අධිවේගී මාර්ගවල වේගය සීමා කරයි.

Editor O

තවත් වෙඩිතැබීමක්

Mohamed Dilsad

‘බුරවි’ සුළි කුණාටුව තවදුරටත් දිවයිනෙන් ඉවතට ගමන් කරයි [RELEASE]

Mohamed Dilsad

Leave a Comment