දේශීය

මහ බැංකුවේ යෝජිත පනත ට එරෙහි පෙත්සම් විභාගයට

රජය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන ශ්‍රී ලංකා මහ බැංකු සංශෝධන පනත් කෙටුම්පතේ ඇතැම් ප්‍රතිපාදන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි යැයි තීන්දු කරන ලෙස ඉල්ලා ගොනුකර තිබෙන පෙත්සම් ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ අද (23) විභාග කිරීම ආරම්භ වුණි.

 

එහිදී පෙත්සම් ගොනුකර තිබූ පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල, වෛද්‍ය ගුණදාස අමරසේකර, විශ්‍රාමික යුද හමුදා කර්නල් අනිල් අමරසේකර යන අය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ මනෝහර ද සිල්වා මහතා යෝජිත පනත් කෙටුම්පතෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන උල්ලංඝනය වන ආකාරය පැහැදිලි කළේය.

 

ඔහු පෙන්වා දුන්නේ ශ්‍රී ලංකා මහ බැංකුව ස්වාධීනවීම වැදගත් කරුණුක් වුවත් යෝජිත පනත් කෙටුම්පතේ සඳහන් වන ආකාරයට එම බැංකුව ශ්‍රී ලංකා රජයේ පාලනයෙන් බැහැරවීම අනතුරුදායක තත්ත්වයක් වන අතර එමගින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය වන බවය.

 

එමෙන්ම මේ හරහා මහ භාණ්ඩාගාරය සහ ශ්‍රී ලංකා මහ බැංකුව අතර පැවති සම්බන්ධය බිඳවැටී ශ්‍රී ලංකා රාජ්‍යය කෙරෙහි මහ බැංකුවේ පවතින වගවීම ඉවත් වන බවත් එමගින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට අවශ්‍ය පරිදි මහ බැංකුව මෙහෙයවීමට අවස්ථාව උදාවෙන බවත් නීතීඥවරයා සඳහන් කළේය.

 

ඉන් අනතුරුව අදාළ පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් පෙත්සමක් ගොනු කර තිබූ ජෙහාන් හමීඩ් මහත්මිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ කණිෂ්ක විතාරණ මහතා යෝජිත පනත් කෙටුම්පත තුළින් මහ බැංකු අධිපතිවරයාට මෙන්ම නියෝජ්‍ය අධිපතිවරුන්ට එම බැංකුවෙන් නිදහස් වී දේශීය හා ජාත්‍යන්තර ආයතනවල සේවය කොට යළිත් පැමිණ ශ්‍රී ලංකා මහ බැංකුවට සම්බන්ධවීමට අවස්ථාව සලසා දී ඇති බවද පෙන්වා දුනි.

 

එම කරුණ කෙරෙහි අවධානය යොමුකළ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රියන්ත ජයවර්ධන මහතා සඳහන් කළේ එම තත්ත්වය අනුමත කළ නොහැකි බවය.

 

මෙහි වැඩිදුර පෙත්සම් විභාගය හෙට (23) දින දක්වා කල් තැබුණි.

Related posts

ආපදාවෙන් අවතැන්වූවන් 85,000ක් සුරක්ෂිත මධ්‍යස්ථානවල

Editor O

වන්නි දිස්ත්‍රික්කයේ අවතැන් ඡන්ද දායකයින්ට ඡන්ද මධ්‍යස්ථාන 12 ක්

Mohamed Dilsad

අයවැයට අනුව මත්පැන් බදු ගණන් ඉහළට

Mohamed Dilsad

Leave a Comment