දේශීය

නිර්වින්දන ඖෂධයක් ලබාදීමෙන් තවත් ජීවිතයක් අහිමි වෙයි

පේරාදෙණිය ශික්ෂණ රෝහලේ දී නිර්වින්දන ඖෂධයක් ලබාදීමෙන් පසුව කාන්තාවක් මියයෑමේ සිදුවීම සමග ජාතික ඖෂධ නියාමන අධිකාරිය මගින් නිර්දේශ කරනු ලබන ඖෂධ වර්ගවල ගුණාත්මකභාවය පිළිබඳව ගැටලුවක් පැන නගින බවට සෞඛ්‍ය වෘත්තිය සමිති චෝදනා කරයි.

 

ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේෂ් මහතා පැවසුවේ, පේරාදෙණිය ශික්ෂණ රෝහලේ ශල්‍යකර්මයක් සඳහා නිර්වින්දන ඖෂධයක් ලබාදීමෙන් පසු ඇතිවූ සංකූලතා හේතුවෙන් විදුහල්පතිනියක් මියගොස් ඇති බවය.

 

මෙම නිර්වින්දන ඖෂධය ලබාදීම හේතුවෙන් පසු ගිය 16 වනදා මෙම විදුහල්පතිනිය මියගිය බවත් එලෙස මියගිය දෙවන රෝගියා ඇය බවත් ඔහු සඳහන් කළේය.

 

එමෙන්ම ඔහු පැවසුවේ එම මරණයට හේතුවී ඇත්තේ ඖෂධ සංකූලතාවයක් බව පැහැදිලිවම සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් තහවුරු කර ඇති බැවින් අදාළ නිර්වින්දන ඖෂධය ගෙන්වීමට අනුමැතිය ලබාදුන් ජාතික ඖෂධ නියාමන අධිකාරි මේ සඳහා වගකිව යුතු බවය.

 

කෙසේවෙතත්,මෙලෙස එල්ලවන චෝදනා සම්බන්ධයෙන් ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධාන විධායක නිලධාරී වෛද්‍ය විජිත් ගුණසේකර මහතාගෙන් “අද දෙරණ” විමසීමක් කළේය.

 

එහිදී ඔහු පැවසුවේ අදාළ නිර්වින්දන ඖෂධය පසුගිය සමයේ විශේෂ විදිවිධාන යටතේ මෙරටට ගෙන්වූ එකක් බවය.

 

මේ අතර,කොළඹ ජාතික රෝහලේ ක්ෂුද්‍රජීවවේදී අංශයේ පරීක්ෂණ කටයුතු මාස දෙකක පමණ කාලයක සිට නවතා දමා ඇති බවට සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය චෝදනා කරයි.

 

ඒ හේතුවෙන් රෝගීන්ට අධික මුදලක් වැයකරමින් පෞද්ගලික රෝහල් වෙත ප්‍රතිකාර සඳහා යෑමට සිදුව ඇති බව එම සංගමයේ සභාපති රවී කුමුදේශ් මහතා පවසයි.

 

“ජීවානුහරණ පද්ධතිය නිසි පරිදී නඩත්තු කරලා නැහැ. සජීවි ක්ෂුද්‍රජීවි පටල සාමාන්‍ය අපද්‍රව්‍යක් ලෙස පාවිච්චි කිරීම නිසා මිලියඩෝසිස් රෝගයට කාර්ය මණ්ඩලය ගොදුරුවෙලා තියෙනවා. රසායනාගාරය මාස එක හමාරක් තිස්සේ වහලා. පරීක්ෂණ පෞද්ගලික අංශයට යවනවා. ලක්ෂ 300ක පමණ පරීක්ෂණ පෞද්ගලික අංශයට යනවා.”

 

මේ සම්බන්ධයෙන් කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතාගෙන් අප විමසීමක් කළේය.

 

එහිදී ඔහු පැවසුවේ සේවකයින් දෙදෙනෙකුට එම රෝගය වැළඳී ඇති බවත් එය රෝහලේ රසායනාගාරය හරහා වැළඳීමක්ද යන්න නිසි ලෙස තහවුරු කළ නොහැකි බවය.

Related posts

අද මධ්‍යම රාත්‍රියේ සිට පෞද්ගලික බස් වර්ජනයක්

Mohamed Dilsad

හජ් උත්සවය අදයි

Mohamed Dilsad

අල්ලස් ගත් පොලීසියේ දෙදෙනෙකුට වසර 28 ක සිරදඬුවම්

Mohamed Dilsad

Leave a Comment