දේශීය

කැබිනට් අනුමැතියෙන් පඬු කරඳ ගස ඉවත් කරයි

ආන්දෝලනයට තුඩුදුන් “කෲඩියා සිලනිකා“ හෙවත් පඬු කරඳ ගස ඉවත් කළේ කැබිනට් අනුමැතිය ලබාගැනීමෙන් අනතුරුව බව ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය, කැබිනට් ප්‍රකාශක බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

 

කැබිනට් තීරණ දැනුම්දීමේ අද (11) පැවැති මාධ්‍ය සාකච්ඡාවේදී අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

 

මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් කටයුතු සිදුකිරීමේදී ඊට බාධාවන අයුරින් මෙම ගස රෝපණය වී තිබීම හේතුවෙන් එය ඉවත් කිරීමට යෑමේදී පසුගිය සමයේදී සමාජයේ දැඩි කතාබහක් ඇතිවුණි.

 

රතු දත්ත පොතට පවා ඇතුළත්වී පවතින මෙරටට ආවේණික ශාකයක් වන පඬු කරඳ ගස මධ්‍යම අධිවේගී මාර්ගය ඉදිකිරීමේදී ගම්පහ දාරළුව ප්‍රදේශයෙන් හමුවීමත් සමඟ මෙම තත්ත්වය මතුවී තිබුණි.

 

අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා,

 

“පඬු කරඳ ගහ ගැන මම පූර්ණ වශයෙන් දැනුවත්. මධ්‍යම අධිවේගී මාර්ගය ඉතා විශාල ව්‍යාපෘතියක්. 2019දී රුපියල් කෝටියකින් කරන්න තිබුණු ව්‍යාපෘතිය අද කරන්න කෝටි 03ක් වත් අඩුම ගාණේ ඕනේ.”

 

“අවාසනාවකට පඬු කරඳ ගහක් අරගෙන.. මේක මෙතනින් ඉවත් කරන්න දෙන්නේ නැහැ. අවුරුදු එකසිය ගාණක් පරණයි කියාගෙන උද්ඝෝෂණ කරලා.. වෙනස් විදියේ සිතියකම් ඇන්ඳා.

 

මේ ගහ ඉතිරි කරලා ව්‍යාපෘතිය වෙනස් කළොත් රුපියල් බිලියන 15ක් පාඩු වෙනවා.”

 

“මේ ගැන මම අධ්‍යනයක් කළා. ඒ වාර්තා මට ලැබුණා. මේ ව්‍යාපාතිය අවට අවුරුදු 40ට වඩා වැඩි පඬු කරඳ ගස් 15ක් තිබෙනවා. උස අඩි 12යි 15යි අතර පඬු කරඳ ගස් 25ක් තිබෙනවා. ඕනේ නම් පෙන්වන්නම්.”

 

“මේ එක ගහ වෙනුවට පඬු කරඳ ගස් 200ක් වගා කරන්න අවශ්‍ය වැඩපිළිවෙල සකස් කරලා තිබෙනවා. මේ කරුණු ටික මම කැබිනට් මණ්ඩලයට දැනුම් දුන්නා. මේ ගස කැපීම සඳහා අනුමැතියක් ලබාදෙන්න කියලා. ගහ කපන්න අනුමැතිය දුන්නා. ඒ අනුව කැබිනට් අනුමැතියෙන් තමයි ගහ ඉවත් කරලා තියෙන්නේ. රජයේ ප්‍රතිපත්තිමය තීරණයක්.”

Related posts

තද වැසි තත්වය පහව යයි

Mohamed Dilsad

දුම්රියේ ගැටී කාන්තාවක් මරුට

Mohamed Dilsad

අයි.එම්.එෆ් තොරතුරු අයවැයෙන්

Mohamed Dilsad

Leave a Comment