දේශීය

නියඟයෙන් ආහාර හිඟයක අවදානමක් – විදුලි උත්පාදනයටත් බාධා

උඩවලව ජලාශයට සමනළ වැවෙන් ජලය නිකුත් කළහොත් දකුණු පළාත තුළ විදුලි කප්පාදුවක් ක්‍රියාත්මක කිරීමට සිදුවනු ඇති බවට ලංකා විදුලි බල මණ්ඩලය දැනුම් දී ඇති බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

 

මේ දිනවල පවතින දැඩි නියඟය හේතුවෙන් උඩවලව ජලාශය යටතේ වගාකර ඇති කුඹුරු අක්කර පනස් දහසකට වැඩි ප්‍රමාණයක් විනාශ වීමේ අවදානමකට ලක්ව ඇති බව වාර්තා වේ.

 

එම කුඹුරු සඳහා සමනළ වැවෙන් ජලය නිකුත් කිරීම පිළිබඳව විදුලිබල මණ්ඩලයේ නියෝජිතයින් සහ කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා අතර විශේෂ සාකච්ඡාවක් පසුගියදා පවත්වා තිබේ.

 

එහි විදුලිබල මණ්ඩල නිලධාරීන් ප්‍රකාශ කර ඇත්තේ දින 10ක් සමනළ වැව ජලාශයේ ජලය උඩවලව ජලාශයට නිකුත් කළහොත් දකුණු පළාත තුළ පැය 1ත් පැය 03ත් අතර කාලයක විදුලි කප්පාදුවක් ක්‍රියාත්මක කිරීමට සිදුවනු ඇති බවය.

 

පවතින නියං තත්ත්වය හේතුවෙන් ඉදිරි මහ කන්නය අසාර්ථක වුවහොත් රට තුළ ආහාර හිඟයක් ඇතිවීමේ අවදානමක් ද පවතින බව මහින්ද අමරවීර අමාත්‍යවරයා පවසයි.

 

අඟුණුකොළපැලැස්ස ප්‍රදේශයේ පැවති ගෙවතු වගා වැඩසටහනකට එක්වෙමින් මහින්ද අමරවීර අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේය.

 

“මිනිස්සුන්ට කන්න දෙන එක ගැන අපිට කතා කරන්න සිද්ධවෙලා. ආණ්ඩුව සතුව සහල් සංචිතයක් නෑ. වී සංචිතයක් නෑ. ඕනේම රටක තියෙන්න ඕනේ හාල් සංචිතයක්. නමුත් අපේ රටේ නෑ. එහෙම තියා ගන්න සල්ලිත් නෑ. මොකද බංකොලොත් වෙච්ච රටකනේ ඉන්නේ. එහෙම කියලා මිනිස්සු බඩගින්නේ මැරෙන්න දෙන්නත් බෑ. ඒ නිසා මේ අභියෝගය අපි හැමෝම වටහාගෙන. දැන් නම් මම කියන්නේ වතුර තියන තැන්වල මොනවා හරි වගාකරන්න අපි මහන්සි වෙන්න ඕනේ. බත් නැත්නම් තියෙන දෙයක් කන්න එපැයි.”

 

පවතින තත්ත්වය හමුවේ සත්ව ආහාර සහ එතනෝල් නිෂ්පාදනය සඳහා සහල් ලබාදීම ද නතර කිරීමට සිදුවනු ඇති බව මහින්ද අමරවීර අමාත්‍යවරයා සඳහන් කළේය.

Related posts

ගාලු මුවදොර සිදුකළ අහඹු රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ 231 කින් ආසාදිතයන් 9 ක්

Mohamed Dilsad

මිලියන 122 කට වැඩි වටිනාකමින් යුත් බීඩි කොළ තොගයක් රේගු භාරයට

Mohamed Dilsad

ජනාධිපතිවරණය නියමිත කාලයේදී අනිවාර්යෙන්ම පැවැත්විය යුතුයි – පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන්

Editor O

Leave a Comment