දේශීය

පියා සහ පුතු එක්ව කළ අපරාධය

රිදීමාලියද්ද, යකහඋල්පොත ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් අභිරහස් ලෙස ඝාතනයකර මෘත දේහය වැසිකිළි වළකට දමා සැඟවූ සිද්ධියක් සම්බන්ධයෙන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

 

ඊයේ (29) රිදීමාලියද්ද පොලීසිය විසින් එසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ, අදාළ කාන්තාවගේ ස්වාමිපුරුෂයා සහ පුතා බව අද දෙරණ වාර්තාකරු පැවසීය.

 

මෙම ඝාතනය සිදුව ඇත්තේ, 2021 වර්ෂයේ පෙබරවාරි මසයේ වන බව පොලීසිය පවසයි.

 

එසේ ඝාතනයට ලක්ව ඇත්තේ, ඩබ්ලිව්.ඒම් සෝමාවති නැමැති 50 හැවිරිදි දෙදරු මවකි.

 

රිදීමාලියද්ද පොලිස් ස්ථානාධිපති පොලිස් පරික්ෂක ඩබ්ලිව්. ආර්.සි වීරකෝන් මහතාට මෙම කාන්තාව අතුරුදන් වී ඇතිබවත් ඒ පිළිබඳව සැක සහිත බවත් ප්‍රදේශයේ පුද්ගලයෙකුගෙන් ලැබුණ තොරතුරක් ලැබී තිබුණි.

 

ඒ අනුව රිදීමාලියද්ද පොලිස් විසින් ඒ පිළිබඳ විමර්ශන කටයුතු ආරම්භ කර තිබුණි.

 

එහිදී මෙම ඝාතනය සිදුකළ ප්‍රධාන සැකකරු වන ස්වාමි පුරුෂයාගෙන් කිහිප වතාවක්ම ප්‍රශ්න කිරීම් කර ඇති අතර එහිදී මෙම පුද්ගලයා විසින් පවසා ඇත්තේ, පුතා සමග එක්ව මීට වසර දෙක හමාරකට පෙර බිරිඳව ඝාතනය කර මෘත ශරීරය වැසිකිළි වළට දැමූ බවය.

 

අත්අඩංගුවට ගත් සැකකරුවන් රිදීමාලියද්ද, යකහඋල්පොත ප්‍රදේශයේ පදිංචිකරුවන් බවන අතර ඔවුන් අවුරුදු 72 සහ 26 වයස් කාණ්ඩවල පසුවන්නන් බව පොලීසිය පැවසීය.

 

මෙම කාන්තාව දීර්ඝ කාලයක් තිස්සේ නිවසෙන් පිට වාසය කර ඇති අතර මාස 4 කට 5කට සැරයක් නිවසට පැමිණ ඇත.

 

එම කාන්තාව 2021 පෙබරවාරි මසයේ නිවසට පැමිණ නැවත නිවසින් පිටවීමට ස්වාමි පුරුෂයාගෙන් රුපියල් පන්සියයක මුදලක් ඉල්ලා ගැටුමක් ඇති කර ගෙන ඇත.

 

එම ගැටුම අසල්වැසි නිවසේ පදිංචි පුතාටද ඇසි පුතා මෙම නිවසට පැමිණ ඇති අතර එහිදි පියා විසින් පුතාටද බැන නිවසින් පළවා හැර ඇත.

 

පසුව පියා විසින්ම පුතාගේ නිවසට ගොස් අම්මා මැරුණා යැයි පවසා ඇති බවත් ඉන් පසු පියා සහ පුතා එක්ව මිය ගිය කාන්තාවගේ දේහය නිවස අසල අලුතින් හැරු වැසිකිලි වළකට දමා වසා ඇති බවත් අනාවරණය වී තිබේ.

 

කෙසේවෙතත් මෙම ඝාතනය සිදුකළ සැකකරු ප්‍රදේශවාසින් කිහිපදෙනෙක් සමග පවසා ඇත්තේ තම බිරිඳ නිවසින් පිටව රැකියාවක් සඳහා ගොස් ඇති බවත් එහිදි කොරෝනා වැළඳී මියයන්න ඇති බවත්ය.

 

අදාළ පුද්ගලයා ග්‍රාම නිලධාරීවරයාට පවා බිරිඳ මියගිය බව පවසා ඒ පිළිබඳ තොරතුරු වාර්තා කර තිබේ.

 

සැකකරුවන් ඊයේ (29) මහියංගණය මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මහියංගණ වැඩබලන මහෙස්ත්‍රාත් ඒස්. ගෝවින්ද මහතා සැකකරුවන් ලබන අගෝස්තු මස 9 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

 

මේ අතර මහෙස්ත්‍රාත්වරයා නියෝගකර ඇත්තේ හෙට (31) මෘත ශරීරය ගොඩ ගැනීම සඳහා මෘත දේහය සැඟවු ස්ථානය පෙන්වීමට සැකකරුවන් රැගෙන එන ලෙසය.

 

සිද්ධිය සම්බන්ධයෙන් රිදීමාලියද්ද පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

Related posts

මහමග කෙළ ගැසුවොත් පොලිස් කූඩුවට

Mohamed Dilsad

වැඩි මිලට සහල් අලෙවි කරන වෙළඳුන් සොයා වැටලීම්

Mohamed Dilsad

බදුල්ල දිස්ත්‍රික්කයේ සියලු දුම්රිය ස්ථානවල වර්ෂාමාන සවිකෙරේ

Mohamed Dilsad

Leave a Comment