දේශීය

දිස්ත්‍රික්ක 12කට පානීය ජල ගැටලුවක්

පවතින වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක 12ක පානීය ජල ගැටලුවක් නිර්මාණය වී ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

 

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල්, මේජර් ජෙනරාල් සුදන්ත රණසිංහ මහතා පවසා සිටියේ, මේ වනවිට පවුල් 48,000ක් පීඩාවට පත්ව ඇති බවය.

 

“පීඩාවට පත්ව ඇති සම්පුර්ණ පුද්ගලයින් ගණන 156,000කට ආසන්න සංඛ්‍යාවකට පානීය ජලය බෙදාහැරීමට කටයුතු සිදුකරනවා. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අප සතු බවුසර් භාවිතයෙන් මෙම දිස්ත්‍රික්කය 12 ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 40කට ආසන්න ප්‍රමාණයකට අපි පානීය ජලය බෙදාහැරීමේ කටයුතු සිදුකරනවා. ඊට අමතරව සතුන්ටත් පානීය ජලය ප්‍රශ්නයක් ඇති වෙලා තියෙනවා. ඒකටත් වන සංරක්ෂණ හා වනජීවි යන වගකිව යුතු ආයතන විසින් බවුසර් මඟින් වතුර ලබාදීමට කටයුතු කරමින් යනවා. පසුගිය සුමාන දෙක තුළ පමණක් පානීය ජලය ලබාදීමට රජය විසින් මිලියන 2කට වැඩි මුදලක් වැය කරලා තියෙනවා.”

 

කෙසේ වෙතත් එම දිස්ත්‍රික්කවල රෝහල් සඳහා පානිය ජලය සැපයීමේ විශේෂ වැඩපිළිවෙළක් ආරම්භ කර ඇති බව ද වාර්තා වේ.

 

මෑත ඉතිහාසයේ උඩවලව ජලාශයේ සක්‍රීය ජල මට්ටම පහළ ගිය අඩුම අගය මේ වන විට වාර්තා වී ඇති බව මහවැලි අධිකාරිය පවසයි.

 

ඒ අනුව අද උදෑසන වන විට උඩවලව ජලාශයේ සක්‍රීය ජල මට්ටම දැක්වුනේ දැරිය හැකි සමස්ත ජල ධාරිතාවෙන් සියයට 0.45ක ප්‍රතිශතයක් ලෙසය.

 

වසර 20 කට පසු මහවැලි වලව කලාපයට බල පෑ දරුණුතම නියඟයත් සමඟ උඩවලව ජලාශයේ ජලය සිඳීයාමෙන් ඇති වූ අර්බුදකාරි තත්ත්වය මේ වන විට තවත් තීව්‍ර වී තිබේ.

 

අක්කර අඩි 217,800ක සමස්ත ජල ධාරිතාවක් දැරිය හැකි උඩවලව ජලාශයේ සක්‍රීය ජල ධාරිතාවය අද උදෑසන වන විට අක්කර අඩි 956 දක්වා පහළ බැස තිබුණි.

 

එය ප්‍රතිශතයක් ලෙස ගත් කල ජලාශයේ දැරිය හැකි සමස්ත ජල ධාරිතාවෙන් 0.45%ක අගයකි.

 

සාමාන්‍ය තත්ත්වයක් යටතේ දිනකදී උඩවලව ජලාශයෙන් තත්ත්පරයට අක්කර අඩි 3,200ක ජල ධාරිතාවයක් ගොවිතැන් කටයුතු සඳහා මුදාහරින නමුත් ඊයේ දිනයේ මුදා හැර තිබුණේ අක්කර අඩි 934ක ජල ධාරිතාවක් පමණය.

 

ඒ අනුව දකුණු ඇලෙන් අක්කර අඩි 521ක ජල ප්‍රමාණයකුත්, වම් ඇලෙන් අක්කර අඩි 413ක ජල ප්‍රමාණයකුත් ගොවිබිම් කරා ගලාගොස් තිබුණි.

 

එමෙන්ම ඊයේ දිනය තුළ සමනළ වැවෙන් සහ වේලි ඔයෙන් ගලා ආ අක්කර අඩි 545ක ජල ධාරිතාවයක් උඩවලව ජලාශයට එකතු වී ඇති බව මහවැලි අධිකාරිය පවසයි.

 

එම අධිකාරියේ තොරතුරුවලට අනුව මෑත ඉතිහාසයේ උඩවලව ජලාශයේ සක්‍රීය ජල මට්ටම පහල බැසි අඩුම මට්ටම මේ වන විට වාර්තා වී තිබේ.

 

මේ අතර ජලය සිඳී ගොස් ඇති උඩවලව ජලාශය දැකබලාගැනීමට මේ වන විට විශාල ජනතාවක් පැමිණෙමින් සිටී.

 

කෙසේ වෙතත් ජලාශය භාර නිලධාරින් අනතුරු අගවන්නේ මෙම ප්‍රදේශය අලින් බහුලව ගැවසෙන කලාපයක් වීම හා අලිවැට ඉදිකර තිබීම හේතුවෙන් ජනතාව එහි පැමිණීම අනතුරුදායක බවය.

 

එමෙන්ම ජලය සිඳී ගොස් ඇති ප්‍රදේශවල රොන් මඩ පැවතීමත් ජලාශය ආශ්‍රීතව කිඹුලන් දිවි ගෙවිමත් හේතුවෙන් එම භූමියේ හැසිරීම අවදානම් බවට බලධාරින් අනතුරු අඟවයි.

 

මේ අතර ජලය සිඳී ගොස් ඇති උඩවලව ජලාශය නිරික්ෂණය කිරීම සඳහා සමගි ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා ඊයේ පස්වරුවේ පැමිණියේය.

 

මේ අතර උඩවලව ජලාශයේ ප්‍රමාණවත් ජල ප්‍රමාණයක් ගොවිබිම් වෙත ගලා නොයෑම හේතුවෙන් මේ වන විට ආසන්න වශයෙන් හෙක්ටයාර 800ක පමණ කුඹුරු ප්‍රමාණයක් විනාශ වී ඇති මහවැලි අධිකාරියේ අභ්‍යන්තර ආරංචි මාර්ග තොරතුරු අනාවරණය කරයි.

 

එමෙන්ම අතිරේක බෝග වගාකර තිබු හෙක්ටයාර 100ක පමණ ගොවිබිම් ප්‍රමාණයක්ද ජලය නොමැතිව විනාශ වී ඇති බවට තොරතුරු වාර්තා වේ.

 

මේ අතර සිය ගොවිතැන් බේරාගැනීම සඳහා සමනළ වැවෙන් උඩවලව ජලාශයට ප්‍රමාණවත් ජලය මුදා හැරීමක් සිදුකරන්නැයි ඉල්ලා ගොවින් ආරම්භ කළ අඛණ්ඩ සත්‍යග්‍රහය අද 15 වන දිනටත් ක්‍රියාත්මක වේ.

 

මේ අතර ගොවි ජනතාවට වගා කිරීමට අවශ්‍ය ජලය ලබා නොදීමට රජය කටයුතු කිරීම ජනතා ද්‍රෝහී ක්‍රියාවක් බවට චෝදනා කරමින් අද මානව හිමිකම් කොමිෂන් සභාවට පැමිණිල්ලක්ද ඉදිරිපත් කෙරුණි

Related posts

දිස්ත්‍රික්ක කිහිපයක ඇඳිරි නීතිය තාවකාලිකව ඉවතට

Mohamed Dilsad

ඉන්ධන මිල සංශෝධනය කරයි.

Editor O

සහල්, සීනි, අල, ලූණු ඇතුළු අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය මිල සීමාවක්

Editor O

Leave a Comment