දේශීය

‘දසේ’ අලියා ගේ මරණයට හේතුව නිර්වින්දනය ද?

ගල්ගමුව හා මහව ආශ්‍රිත ප්‍රදේශවල සැරිසරමින් සිටි දෑස් නොපෙනෙන ‘දසේ’ නම් වන අලියා ඊයේ (17) පස්වරුවේ මියගොස් තිබේ.

 

ප්‍රදේශවාසීන් පවසන්නේ, නිරෝගී ව සිටි වන අලියා වෙනත් ස්ථානයකට රැගෙන යෑම සඳහා වනජීවී නිලධාරීන් නිර්වින්දනය කර දින 05කට පසු ව සත්ත්වයා මියගිය බවයි.

 

‘දසේ’ හෙවත් ‘කරපටියා’ නම් වයස අවුරුදු 55ක් පමණ වන එම වන අලියා, දෑස් පෙනීමේ පවතින දුර්වලතාවක් හේතුවෙන් ගල්ගමුව හා මහව ප්‍රදේශවල ගම්මාන ආශ්‍රිත ව වැඩි වශයෙන් සැරිසරමින් සිටියේය.

 

අනතුරු ව ප්‍රදේශවාසීන් වනජීවී නිලධාරීන්ට පවසා ඇත්තේ, එය අනතුරුදායක බැවින් සත්ත්වයා ව වෙනත් ස්ථානයකට යොමුකරන ලෙසයි.

 

ඒ අනුව පසුගිය සඳුදා දින වනජීවි දෙපාර්තමේන්තුවේ විශේෂ නිලධාරීන් කණ්ඩායමක්, මහව වනජීවී නිලධාරීන් සමඟ එක් ව ඇබෝගම ප්‍රදේශයේ දී සත්ත්වයා අල්ලා නිර්වින්දය කර ඇත්තේ, හොර⁣ව්පතාන අලි රැඳවුම් මධ්‍යස්ථානය වෙත රැගෙන යාම සඳහායි.

 

නමුත් නිර්වින්දනය කිරීමෙන් පසු ව අලියා ගේ සෞඛ්‍ය තත්ත්වය ඉතා දුර්වල වී ඇති අතර, දින 05ක පමණ කාලයක් එම ස්ථානයේ ඇද වැටී සිටියේය.

 

වනජීවි නිලධාරීන් අලියාට ප්‍රතිකාර ලබා දීමට පියවර ගත් අතර, ප්‍රදේශයේ භික්ෂූන් වහන්සේලා කිහිප නමක් එම ස්ථානයට වැඩම කර සත්ත්වයාට සුවපතා පිරිස් සජ්ඣායනාවක් ද සිදු කළේය.

 

නමුත් ඊයේ පස්වරුවේ දසේ නම් මෙම වන අලියා අවාසනාවන්ත ලෙස මියගොස් තිබිණි.

 

ප්‍රදේශවාසීන් චෝදනා කරන්නේ, වනජීවී නිලධාරීන් ගේ නිසි අයුරින් ක්‍රියාත්මක නොවීම දසේ ගේ මරණයට හේතු වී ඇති බවයි.

 

මේ අතර, මින්නේරිය යුද හමුදා කඳවුරු පරිශ්‍රය අසල පිහිටා තිබෙන මින්නේරිය දුම්රිය මාර්ග රක්ෂිතය ආසන්නයට කඩුල්ල රක්ෂිතයේ සිට ඊයේ පස්වරුවේ විශාල අලි රංචුවක් පැමිණ තිබිණි.

 

ඒ, කවුඩුල්ල රක්ෂිතයේ සිට මින්නේරිය රක්ෂිතය දක්වා ගමන් කරන අතරතුරය.

 

සියයකට ආසන්න වන අලි රංචුව කුඩා පැටවුන් ගෙන් මෙන්ම ඇතුන්ගෙන් ද සමන්විත ව තිබිණි.

 

මෙම වන අලි රංචුව දැකබලා ගැනීමට දෙස් විදෙස් සංචාරකයන් විශාල පිරිසක් එම ස්ථානයට පැමිණි බව සඳහන්ය.

 

කෙසේ වෙතත් වන අලි රංචුව දුම්රිය මාර්ගය ඔස්සේ ගමන් කිරීමේ දී සිදු විය හැකි අනතුරු වැළැක්වීම සහ ප්‍රදේශවාසීන්ට සිදු විය හැකි අනතුරු වැළැක්වීම සඳහා වන අලි රංචුව නැවත අලි වෙඩි දමා කවුඩුල්ල වන රක්ෂිතය වෙත පලවා හැරීමට කටයුතු කරනු ලැබිණි.

Related posts

ශ්‍රී ලංකා ක්‍රිකට් තහනම් කිරීම ගැන ඇමතිගෙන් විශේෂ හෙළිදරව්වක්

Mohamed Dilsad

තවත් කොරෝනා මරණ පහක් [RELEASE]

Mohamed Dilsad

ජූලි මාසයේ අස්වැසුම දීමනාව සඳුදා බැංකුවට

Mohamed Dilsad

Leave a Comment