දේශීයප්‍රමුඛ පුවත 1

ඔබේ වාහනය නවතන්නේ පොලීසියෙන්ද? | වාහන හොරුත් රාජකාරියේ!

(UTV | කොළඹ) –පොලිස් නිලධාරීන් ලෙස පෙනී සිටිමින් පුද්ගලයින් පිරිසක් කොල්ලකෑමක් සිදුකර ඇති බව පොලිස් මූලස්ථානය පවසයි.

බිංගිරිය පඩිවෙල ප්‍රදේශයේදී රුපියල් 930,000ක් පමණ වටිනා ත්‍රීරෝද රථයක් මෙලෙස කොල්ලකා ඇති බවට ඊයේ (26) දහවල් බිංගිරිය පොලීසියට පැමිණිල්ලක් ලැබී ඇත.

ඉකුත් 25 වනදා රාත්‍රී 10ට පමණ මෙම කොල්ලය සිදුවී තිබේ.

පඩිවෙල ප්‍රදේශයේදී මාර්ගයේ වම්පස සිවිල් ඇඳුමින් සැරසී සිටි පුද්ගලයින් දෙදෙනෙකුගෙන් එක් අයෙකු අදාළ ත්‍රීරෝද රථය නවතා ඔවුන් කුලියාපිටිය පොලීසියේ බව පවසා රියදුරු බලපත්‍රය ඉල්ලා සිටි බව පැමිණිලිකරු පොලීසියට පවසා ඇත.

පසුව රියදුරු ත්‍රීරෝද රථයෙන් බැස රියදුරු බලපත්‍රය ලබාදී ඇති අතර එහිදී එම රියදුරු බලපත්‍රය ත්‍රීරෝද රථය පැදවීම සඳහා වලංගු නොවන බවත් පොලීසියට යායුතු බවත් සැකකරුවන් පවසා තිබේ.‍

ඒ අනුව පොලිස් ස්ථානයට යෑම සඳහා රියදුරුව සැකකරුවන් පැමිණි යතුරුපැදියකට නංවාගෙන ඇති අතර ත්‍රීරෝද රථය අනෙක් සැකකරු පදවාගෙන ගොස් ඇත.

පසුව සැකකරුවන් විසින් කදුරුගස් හන්දිය ප්‍රදේශයේදී රියදුරුව අතහැර දමා ත්‍රීරෝද රථය කොල්ලකා තිබේ.

පොලීසිය සඳහන් කළේ සිවිල් ඇඳුමින් සැරසී සිටි සැකකරුවන් දෙදෙනා පොලිස් නිලධාරීන් නොවන බවට අනාවරණය වී ඇති බවය.

ඒ අනුව සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා බිංගිරිය පොලීසිය විමර්ශන ආරම්භ කර ඇත.

පොලීසිය වැඩිදුරටත් සඳහන් කරන්නේ පොලිස් නිලධාරීන් වාහන පරීක්ෂා කිරීමට සංඥා කරන විට එසේ සංඥා කරන නිලධාරියා පොලිස් නිල ඇඳුමින් සැරසී සිටීම අනිවාර්යය බවය.

ඇතැම් අවස්ථාවලදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශ නිලධාරීන් විසින් සිදුකරනු ලබන විමර්ශනවලදී සිවිල් ඇඳුමින් සැරසී රථ වාහන නැවැත්වීමට සංඥා කරන අවස්ථා තිබිය හැකි බවත් පොලීසිය සඳහන් කරයි.

එසේ නොවන අවස්ථාවලදී අවස්ථාවට උචිත ලෙස බුද්ධිමත්ව කටයුතු කරන ලෙස පොලීසිය මහජනතාවගෙන් ඉල්ලා සිටී.

Related posts

ඊයේ දිනයේ වැඩිම ආසාදිතයන් ත්‍රිකුණාමලයෙන්

Mohamed Dilsad

මේ වසරට අදාළ පෙළ පොත් පාසල්වලට බෙදා දීම අවසන්

Mohamed Dilsad

ට්‍රැමඩෝල් පෙති තොගයක් සමඟ අයෙකු අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment