Trending Newsඑසැන පුවත්දේශීය

ඉදිරි මහ කන්න දෙකේ වී වගා කරන ගොවීන්ට බන්ඩි (එම්ඕපී) පොහොර නොමිලේ

(UTV | කොළඹ) –

ඉදිරි මහ කන්න දෙකක් සඳහා ගොවි ජනතාවට වී වගාවට අවශ්‍ය බන්ඩි (එම්ඕපී) පොහොර නොමිලේ ලබා දීමට රජය තීරණය කර ඇතැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

කෘෂිකර්ම සහ වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා එසේ ප්‍රකාශ කළේ, ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ 26දා පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදීය.

එක්සත් ජාතින්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයෙන් බන්ඩි (MOP) පොහොර ලබා ගැනීම සඳහා ඉල්ලීමක් කළා. ඒ අනුව එම සංවිධානය විසින් MOP පොහොර මෙට්‍රික්ටොන් 55,000ක් ලබා දීමට කැමැත්ත පළ කළා. ඒ අනුව‍ ඉදිරි කන්න දෙකකදී ගොවි ජනතාවට වී වගාව සඳහා පොහොර අවශ්‍ය ප්‍රමාණයම නොමිලේ ලබා දීමට රජය තීරණය කර තිබෙන බවද අමාත්‍යවරයා කීවේය.

තේ වගාව සඳහා ද සහනාධාර පදනම යටතේ පොහොර ලබා දීමට කටයුතු කරන බවත්, රජයට අයත් පොහොර සමාගම් මඟින් තේ පොහොර නිෂ්පාදනය කරන අතර, වෙළඳපොළ මිලට වඩා 50%ක් අඩුවෙන් එම පොහොර ලබා දෙන බවද අමාත්‍යවරයා කීවේය. එම පොහොර සහනාධාරය සඳහා වැය කරන මුදල රුපියල් බිලියන 12කි.

ජූලි මස 01දා සිට 07දා දක්වා තරුණ කෘෂි ව්‍යවසායකත්ව ගම්මාන වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීමේ ජාතික සතියක් ප්‍රකාශයට පත් කරන බව කෘෂිකර්ම සහ වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කළේය.

කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය විසින් තරුණ ප්‍රජාව කෘෂි කර්මාන්තයට ආකර්ශනය කර ගැනීම සඳහා වැඩපිළිවෙල රැසක් ආරම්භ කර තිබෙනවා. ඊට අදාළව දිවයිනේ දිස්ත්‍රික්ක 25 ආවරණය වන පරිදි ගම්මාන 160ක් තෝරාගෙන තරුණ කෘෂි ව්‍යවසායකත්ව ගම්මාන ලෙස ව්‍යාපෘති ආරම්භ කිරීමට මේ වනවිට සියලූ කටයුතු සූදානම් කර තිබෙනවා. ඒ අනුව ජූලි මස 01දා සිට 07දා දක්වා තරුණ කෘෂි ව්‍යවසායකත්ව ගම්මාන වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීමේ ජාතික සතියක් ප්‍රකාශයට පත් කරනවා. එහි පළමු අදියර වශයෙන් සෑම ගමකම ව්‍යාපෘති ආරම්භ කිරීම සඳහා රුපියල් මිලියන 10 බැගින් ලබා දෙනවා. මේ සඳහා වෙන් කර ඇති මුදල රුපියල් මිලියන 1600ක්.

මෙරට පැවති සහල් හිඟය නිසා 2022 දී වසරේදී සහල් මෙට්‍රික්ටොන් ලක්ෂ 08ක් ආනයනය කළා. ඒ සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 300ක පමණ වැය වුණා. 2023 වර්ෂයේදී අපට අවශ්‍ය සමස්ත සහල් ප්‍රමාණයම රට තුළ නිෂ්පාදනය කළා. 2024 වර්ෂයේදී අවශ්‍ය සහල් නිෂ්පාදනය සඳහා ජාතික වී අවශ්‍යතාව මෙට්‍රික්ටොන් මිලියන 4.1ක් වන අතර 2023 සමස්ත වී නිෂ්පාදනය මෙට්‍රික්ටොන් මිලියන 4.5ක් වනවා. ඉදිරි වගා කන්න 05ක් තුළ මෙරට වී වගාව දෙගුණයකින් ඉහළ නැංවීම අපගේ ඉලක්කයයි. එම ඉලක්කය ජය ගැනීම සඳහා වී වගාවට තාක්ෂණික පැකේජයක් හඳුන්වා දෙනවා.

වී වගාවේ ඵළදායීතාව ඉහළ නැංවීම සඳහා ප්‍රදේශ කිහිපයක හෙක්ටයාර ලක්ෂයක් තෝරා, වී වගාවේ අස්වනු වැඩි කිරීම සඳහා විශේෂ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබෙනවා. පසුගිය වසර කිහිපය තුළම දේශගුණික බලපෑම් නිසා ද වගා හානිවීම් ඉහළ ගොස් තිබෙනවා.

එමෙන්ම බිත්තර සහ කිරි නිෂ්පාදනයේ දී අවශ්‍ය සමස්ත බිත්තර හා කිරි ප්‍රමාණයෙන් ස්වයංපෝෂිත වීමට තවමත් අපට හැකි වී නැහැ. 2021 පොහොර ගැටළුව නිසා සත්ත්ව ආහාර වශයෙන් බඩඉරිඟු නිෂ්පාදනයේ ඇති වූ කඩා වැටීම හේතුවෙන් කුකුළු පාලනය සහ ගව පාලනයට බලපෑම් එල්ල වුණා.

අපගේ බඩඉරිඟු ජාතික අවශ්‍යතාව මෙට්‍රික් ටොන් ලක්ෂ 06ක් වන අතර 2023 මහ කන්නයේදී බඩ ඉරිඟු මෙට්‍රික් ටොන් 221,249 දක්වා වැඩි වී තිබෙනවා.

බිත්තර නිෂ්පාදනය ඉහළ දැමීම සඳහා අලුත් වැඩපිළිවෙලක් ආරම්භ කළා. ඒ අනුව ඉදිරි මාස දෙක තුළ කුකුළු පැටවුන් 160,000ක් තරුණ කෘෂි ව්‍යවසායකත්ව ගම්මාන 160ක ව්‍යවසායකයින් ට දෙනවා.

ඒ වගේම මේ වනවිට වෙළඳපොලේ පොල්තෙල් මිල ඉහළ යාම සම්බන්ධව අපගේ අවධානය යොමු වී තිබෙනවා. දැනට ආනයනික පොල්තෙල් ලීටර් 01ක් සඳහා රජය රුපියල් 150ක මුදලක් අය කරනවා. මෙම මුදල අඩු කිරීමේ යෝජනාවක් කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යවරයා වශයෙන් මම ඉදිරියේදී අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කරනවා. රටේ වාර්ෂික පොල්තෙල් අවශ්‍යතාව මෙට්‍රික්ටොන් 25,868ක් වන අතර දැනට රට තුළ පොල්තෙල් මෙට්‍රික්ටොන් 51,457ක් ඇති බව පොල් සංවර්ධන අධිකාරිය ප්‍රකාශ කරනවා.

Related posts

Serb Nationalist triumphs in Bosnia Poll

Mohamed Dilsad

ஒரு நாளைக்கு 2 மணி நேர தீவிர முயற்சியில் ப்ரீத் சிங்

Mohamed Dilsad

Special traffic plan around BIA

Mohamed Dilsad

Leave a Comment