(UTV | කොළඹ) –
අතුරුගිරිය, ඔරුවල ප්‍රදේශයේ පිහිටවු ටැටූ නිර්මාණ මධ්‍යස්ථානයක් විවෘත කිරීමේ අවස්ථාවට සහභාගීවෙමින් සිටි පිරිසකට ඊයේ (08) උදෑසන එල්ල වූ වෙඩි ප්‍රහාර වලින් ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙකු වන 55 හැවිරිදි සුරේන්ද්‍ර වසන්ත පෙරේරා නොහොත් ක්ලබ් වසන්ත සහ 38 හැවිරිදි තවත් පිරිමි පුද්ගලයෙකු ජිවිතක්ෂයට පත්වූහ.
තුවාල ලැබුවන්ගෙන් කාන්තාවක් සහ පිරිමි පුද්ගලයෙකු ජාතික රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන අතර තවත් කාන්තාවන් දෙදෙනෙකු හෝමාගම රෝහලේ ප්‍රතිකාර ලබනවා. එම තුවාල ලැබුවන් අතර ගායන ශිල්පී කේ සුජීවා සහ ක්ලබ් වසන්තගේ බිරිඳ සිටිති.
අතුරුගිරියේ වෙඩි තැබීමෙන් පසුව කොළඹ ජාතික රෝහලට මාරු කර යැවූ දෙදෙනා මේ වනවිට දැඩි සත්කාර ඒ්කකයේ ප්‍රතිකාර ලබමින් සිටින බව කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්යක්ෂ වෛද්‍ය රුක්ෂාන් මහතා පවසනවා. හදිසි අනතුරු අංශයට කාන්තාවක් හා පිරිමි අයෙකු ඇතුළත් කර තිබූ අතර ඔවුන් දෙදෙනාගේම ඉනෙන් පහළට තුවාල සිදුව ඇතැයි වෛද්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
ගිනිඅවි අතැති දෙදෙනෙකු උඩු මහලේ ටැටූ මධ්‍යස්ථානයට ඇතුළු වී වෙඩිතබන ආකාරය CCTV කැමරාවලද සටහන්ව තිබුණි. මුව ආවරණ පැළඳ ටැටූ මධ්‍යස්ථානයට ඇතුළු වූ වෙඩික්කරුවන් එහි සිටි පිරිසට නොනවත්වා වෙඩි ප්‍රහාර එල්ල කරයි. වෙඩි ප්‍රහාරය අතරතුර ඉන් බේරීම සඳහා පුද්ගලයන් තිදෙනෙක් සැඟවෙන අයුරු කැමරාවල සටහන්වී තිබේ.
ප්‍රහාරයෙන් 6 දෙනෙකු තුවාල ලැබූ අතර ඔවුන් යුහුසුලුව රෝහල්ගත කරනු ලැබීය. ටැටූ නිර්මාණකරණයේදී සේවාදායකයා අසුන් ගන්නා එම අසුනට පිටුපසින් පිහිටි බිත්තියට වෙඩි ප්‍රහාර කිහිපයක් එල්ල වී තිබෙන බව ඡායාරූපයක සඳහන්වී තිබේ.
ටැටූ මධ්‍යස්ථානය විවෘත කරන අවස්ථාවේ ලබාගත් ඡායාරූපයක දැක්වෙන්නේ ගායන ශිල්පිනී කේ. සුජීවා, ක්ලබ් වසන්ත සහ ඔහුගේ බිරිඳ ටැටූ මධ්‍යස්ථානයේ අසුන්ගෙන සිටි ආකාරයයි. ඊට අමතරව එම මධ්‍යස්ථානයේ පිහිටි අසුන් අසල රුපියල් පන්දහසේ මුදල් නෝට්ටු කිහිපයක්ද දැකගත හැකිවුණි.
උත්සවයේ ආරාධිත අමුත්තෙකු ලෙස සහභාගී වූ ජනප්‍රිය ගායන ශිල්පී කේ. සුජීවා මහත්මිය ද වෙඩි ප්‍රහාරයෙන් තුවාල ලැබීය. තුවාල ලැබූ 55 හැවිරිදි ප්‍රසිද්ධ ව්‍යාපාරික සුරේන්ද්‍ර වසන්ත පෙරේරා නොහොත් ක්ලබ් වසන්ත, ඔහුගේ බිරිඳ වන 42 හැවිරිදි මැණික් විජේවර්ධන සහ තවත් පුද්ගලයෙක් හා කාන්තාවක් ඇතුළත් කෙරුණේ හෝමාගම මූලික රෝහලටය. රෝහල්ගත කිරීමෙන් පසු සුරේන්ද්‍ර වසන්ත පෙරේරා නොහොත් ක්ලබ් වසන්ත සහ අතුරුගිරිය – රතුවිලවත්ත ප්‍රදේශයේ පදිංචි 38 හැවිරිදි නයන වාසුල විජේසූරිය යන දෙදෙනා ජීවිතක්ෂයට පත්ව තිබේ.
හෝමාගම මූලික රෝහලේ ප්‍රතිකාර ලබන කාන්තාවන් දෙදෙනාගේ තත්ත්වය තරමක් බරපතළ අතර ඒ අතරින් ක්ලබ් වසන්තගේ බිරිඳට සැත්කමක් සිදුකළ බව රෝහල් ආරංචි මාර්ග පැවසීය. වෙඩි ප්‍රහාරයෙන් තුවාල ලැබූ ගායන ශිල්පිණී කේ. සුජීවා සහ තවත් අයෙක් ඇතුළත් කෙරුණේ කොළඹ ජාතික රෝහලටයි.
කේ. සුජීවාගේ පාදවලට බරපතළ තුවාල සිදුව ඇති අතර ඇය අද දහවල් සැත්කමකට ලක්කර තිබේ. අනෙක් පුද්ගලයාගේ පිට ප්‍රදේශයට වෙඩි වැදී තුවාල සිදුව ඇති අතර ඔහුද සැත්කමකට ලක්කළ බව රෝහල් ආරංචි මාර්ග පැවසීය. මෙම වෙඩි ප්‍රහාරයේ ප්‍රධාන ඉලක්කය ක්ලබ් වසන්ත නමැත්තා වී ඇති බව පොලීසිය පවසයි.
ඝාතකයන් පැමිණි මෝටර් රථයේ රියදුරාද ඇතුළුව සිව් දෙනෙකු සිට ඇති බවත් ඉන් දෙදෙනකු ගිනිඅවි අතැතිව උඩු මහලට යද්දී තවත් අයෙක් ටී 56 ගිනිඅවියක් සමඟ මෝටර් රථයේ රැඳී සිට ඇති බව වාර්තාවෙයි. වෙඩි තබා පළාගිය ඝාතකයන් සිය මෝටර් රථය කොරතොට ප්‍රදේශයේදී නවත්වා වෙනත් වෑන් රථයකට මාරු වී ඇති බව පොලීසිය පවසයි. වෑන් රථයෙන් තවත් ප්‍රදේශයකට ගිය සැකකරුවන් එහිදී තවත් මෝටර් රථයකට නැග පළාගොස් ඇතැයි පොලීසිය මෙතෙක් සිදුකළ පරීක්ෂණයේදී හෙළි වී තිබේ.
එමෙන්ම, සැකකරුවන් පැමිණි සහ පළාගිය සියලු වාහනවල සවිකර ඇත්තේ ව්‍යාජ අංක තහඩු බව පොලීසිය පවසයි. එම මොටර් රථය එකලස් කළ එකක් බවද පොලීසිය පැවසීය. පළාගිය සැකකරුවන් සොයා ගැනීමට බස්නාහිර පළාත දකුණ භාර නියෝජ්‍ය පොලිස්පති ගයන්ග මාරපන මහතාගේ අධීක්ෂණය යටතේ පොලිස් කණ්ඩායම් 6ක් මේ වනවිට යොදා තිබේ.
මේ අතර, වෙඩි තැබීම සිදුකළ ස්ථානය කඩුවෙල වැඩ බලන මහෙස්ත්‍රාත් ඩී.පී.ජී.කරුණාරත්න මහතාගේ පරීක්ෂාවට අද පස්වරුවේ ලක් කෙරුණි. එම ස්ථානයේ තිබී පතොරම් කොපු කිහිපයක් හමුව ඇති අතර එහි ”KPI” ලෙස යෙදුමක් නිරීක්ෂණය කළ බව පොලීසිය පවසයි.
ඝාතනයට ලක්වූ ක්ලබ් වසන්තට අයත් බව කියන ගිනිඅවියක් ද එම ස්ථානයේ තිබී සොයා ගැණුනි. කෙසේ වෙතත් එම මධ්‍යස්ථානය ආරම්භ කළ ටැටූ නිර්මාණකරු දුලාන් සංජුල නමැත්තාට වෙඩි තැබීමෙන් හානි සිදුව නොමැත.