(UTV | කොළඹ) –
රටේ ආර්ථිකයට බලපාන්නා වූ එමෙන්ම ජනතාව සමඟ සම්බන්ධ වැදගත් ආයතනයක් වූ රේගු දෙපාර්තමේන්තුවේ සේවය කරන විනය විරෝධී ලෙස කටයුතු කළ නිලධාරීන් පිරිසකගේ වැඩ තහනම් කළ බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා.
පසුගිය ජනවාරි මාසයේදී පමණ මෙරටට ගෙන්වනු ලැබූ බහාලුමක රූපලාවන්‍ය උපකරණ සහ දියර පොහොර අඩංගුව තිබී ඇති අතර ඒවා ආනයනය කිරීම සඳහා නිසි අවසරයක් ලබාගෙන නොතිබූ නිසා එම බහාලුම රඳවා තබා ගැනීමට කටයුතු කළ බව අමාත්‍යවරයා එහිදී සඳහන් කළේය.
මෙහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා සඳහන් කළේ රූපලාවන්‍ය උපකරණ ගෙනඒම සඳහා ඖෂධ නියාමන අධිකාරියේ අවසරය අවශ්‍ය වන අතර දියර පොහොර රැගෙන ඒම සඳහා ආනයන අපනයන බලපත්‍රයක් ලබාගත යුතුය. එවන් අවශ්‍යතා කිසිවක් සපුරා නොතිබියදී පසුගිය සතියේදී නිලධාරීන් පිරිසක් විසින් මෙම බහාලුම නීති විරෝධි ලෙස මුදාහැර ඇති අතර , ඊට සම්බන්ධ සියළු නිලධාරීන්ට විරුද්ධව විනයානුකූලව කටයුතු කළ බව අමාත්‍යවරයා සදහන් කළේය.
මේ පිළිබඳ රේගු අධිකාරියෙන් අප කළ විමසීමකට පිළිතුරු දුන් උසස් නිලධාරියෙක් සදහන් කළේ රේගු පරීක්ෂණ කටයුතු සඳහා ‘ග්‍රේ ලයින් 2’ භාණ්ඩ පරීක්ෂණ අංගයේ නවතා තිබූ නීති විරෝධීව ආනයනය කළ සුවඳ විලවුන් සහ ආලේපන අඩංගු බහලුමක් ව්‍යාජ ලේඛන සකස්කර රේගුවෙන් නිදහස් කිරීමේ චෝදනාවට ජ්‍යෙෂ්ඨ රේගු අධ්යක්ෂවරයකු ඇතුළු ඉහළ නිලධාරීන් සිවුදෙනකුගේ වැඩ තහනම් කළ බවයි. ඒ අතර, නියෝජ්‍ය රේගු අධ්යක්ෂවරියක්, නියෝජ්‍ය රේගු අධ්යක්ෂවරයකු සහ රේගු අධිකාරිවරයකු වැඩතහනම් කළ නිලධාරීන් අතර සිටින බවද හෙතෙම කීවේය.
එකී බහලුමේ නීති විරෝධී සුවඳ විලවුන් සහ ආලේපන අඩංගු යැයි චෝදනාවට පසුගිය ජනවාරි මස රේගු භාරයට ගෙන ආනයනකරුට දඩ මුදල් පැනවුවද ඔහු දඩ මුදල් ගෙවා නොමැති බවත්, රේගු නිලධාරීන්ගේ වාර්ෂික ස්ථාන මාරු දිනය වූ මෙම මස 12 වැනිදා ලේඛන වෙනස් කර රේගුවෙන් පිටකර ඇති බව අනාවරණය වී තිබේ. රේගු මධ්‍යම මිල පිරික්සුම් අංශයේ තිබූ එම බහාලුමට අදාළ ලිපිගොනුවේ සත්‍ය ලේඛන පරීක්ෂා කිරීමේදී ව්‍යාජ ලේඛන හඳුනාගැනීමට හැකිවී තිබේ.
මෙවැනි දූෂිත ක්‍රියා හේතුවෙන් ශරීර සෞඛ්‍යට අහිතකර මෙන්ම පිළිකාකාරක සහිත ආලේපන වර්ග, ප්‍රමිතියෙන් තොර භාණ්ඩ, බාල ඖෂධ සහ පරිභෝජනයට නුසුදුසු ආහාර වර්ග වෙළෙඳපොලට යෑම වැළැක්විය නොහැකි වන බවත්, එකී සේවකයන් ට අදාළව නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බවද අප කළ විමසීමකදී රේගුවේ උසස් නිලධාරියා සඳහන් කළේය.