බරපතළ වැඩ සහිත වසර තුනක සිරදඬුවම් නියම වී සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ඇප මත මුදා හැරීමට කොළඹ මහාධිකරණය කොළඹ මහාධිකරණ විනිසුරු අමල් රණරාජා මහතා අද(22) නියෝග කළේය.

ඒ අනුව හිරුණිකා ප්‍රේමචන්ද්‍ර රුපියල් 50000/- ක මුදල් ඇප සහ රුපියල් ලක්ෂ 05 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට නියෝග කළ විනිසුරුවරයා ඇයගේ විදේශ ගමන් තහනම් කිරීමටත් නියෝග කළේය.

2015 වසරේ දෙසැම්බර් මස 21 වැනිදා දෙමටගොඩ ප්‍රදේශයේ වෙළඳ සැලක සේවය කළ අමිල ප්‍රියංක නැමති තරුණයකු කළු පැහැති ඩිෆෙන්ඩර් රථයකින් පැහැරගෙන ගොස් අයුතු ලෙස සිරකර තබා පහරදීම ඇතුළු චෝදනා 18 කට වරදකාරිය කෙරුණු හිරුණිකා ප්‍රේමචන්ද්‍රට කොළඹ මහාධිකරණය විසින් මීට පෙර බරපතළ වැඩ සහිත වසර තුනක සිර දඬුවම් හා රුපියල් තුන් ලක්ෂ හැටදහසක දඩයක්ද නියම කරනු ලැබීය.

එම දඬුවම්වලට එරෙහිව හිරුණිකා ප්‍රේමචන්ද්‍ර විසින් අභියාචනාධිකරණය වෙත ඇපෑලක් ඉදිරිපත් කරනු ලැබූවාය. එම ඇපෑල විභාග කොට අවසන් තීන්දුවක් ප්‍රකාශයට පත් කරන තුරු තම සේවා දායිකාව ඇපමත මුදා හරින ලෙස ඉල්ලා ඇය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ නලින්ද ඉන්දතිස්ස අධිකරණයෙන් ඉල්ලීම් කර තිබුණි.

එහෙත් එම ඇප ඉල්ලීමට නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ජනක බණ්ඩාර විරෝධය පළ කර සිටියේය. නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා සඳහන් කළේ අභියාචනාදීකරණයේදී අභියාචනා පෙත්සම් විභාගය කඩිනමින් සිදුවන හෙයින් ඇප නියම කිරීමේදී එය සුවිශේෂී කරුණක් ලෙස සැලකිය නොහැකි බවයි. කෙසේ වෙතත් දෙපාර්ශවය විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව අධිකරණය මෙම නියෝගය ප්‍රකාශයට පත් කළේය.