(UTV | කොළඹ) –
අවිධිමත් ගමන් බලපත්‍රයක් භාවිත කළ බවට අසත්‍ය සහ ද්වේශ සහගත චෝදනා කරමින් අනීතිකව තමන් අත්අඩංගුවට ගෙන නඩු පැවරූ ආගමන විගමන නිලධාරීන්ගෙන් රුපියල් මිලියන 1000ක වන්දියක් ඉල්ලා ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා අද(12) කොළඹ දිසා අධිකරණය හමුවේ නඩුවක් ගොනු කළේය.
විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුව සිටි විමල් වීරවංශ මහතා 2015 වසරේදී විදෙස්ගත වීම සඳහා කටුනායක ගුවන් තොටුපළට පැමිණි අවස්ථාවේදී ආගමන ව්ගමන දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර නඩු පැවරිණ.
වසර 8ක කාලයක් මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයේදී විභාගයට ගැනුණු මෙම නඩුවේ තීන්දුව පසුගිය අප්‍රේල් මාසයේදී ප්‍රකාශයට පත් කළ අතර, ඒ අනුව, විමල් වීරවංශ මහතා නිදොස් කොට නිදහස් කෙරිණ.
එම නඩුවේදී විමල් වීරවංශ මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සරත් ජයමාන්න මහතා විසින් මන්ත්‍රීවරයා ඉදිරිපත් කළ ප්‍රශ්නගත ගමන් බලපත්‍රය අසත්‍ය තොරතුරු ඉදිරිපත් කර හෝ ව්‍යාජව සැකසූ එකක් නොවන බවට සිය කරුණු දැක්වීම් හා හරස් ප්‍රශ්න කිරීම්වලදී ඔප්පු කර තිබිණ.
ඒ අනුව ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මීගමුව මහේස්ත්‍රාත්වරයා පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා නිදොස් කොට නිදහස් කළ අතර අක්‍රිය ගමන් බලපත්‍රයක් ඉදිරිපත් කිරීම අපරාධමය වරදක් නොවන බවත්, මන්ත්‍රීවරයා ඉදිරිපත් කර ඇති ගමන් බලපත්‍රය කූඨ ලෙස හෝ ව්‍යාජව හෝ සැකසූ එකක් නොවන බවට ඔප්පු වී ඇති බවත් එම නියෝගයේ සඳහන් විය.
අදාළ නඩුව ද්වේශ සහගතව පවරා පවත්වාගෙන යාමෙන් තමන්ට දැඩි මානසික හා ශාරීරික වේදනාවන්ට මුහුණ දීමට සිදුවූ අතර තම කීර්ති නාමය සහ සමාජ ගෞරවය පහත හෙළා ඇති බව සඳහන් කරමින් අසත්‍ය හා ද්වේශ සහගත පැමිණිල්ල සිදුකළ නිලධාරීන්ගෙන් රුපියල් මිලියන 1000ක වන්දියක් ඉල්ලා විමල් වීරවංශ මහතා කොළඹ දිසා අධිකරණයේ අදාළ නඩුව ගොනු කර තිබේ.
ඒ අනුව ආගමන විගමන දෙපාර්තමේන්තුවේ එවක හිටපු නිලධාරීන් විත්තිකරුවන් කරමින් මෙම නඩුව ගොනු කර ඇති අතර සාධාරණ පරීක්ෂණයක් සිදු නොකර, අපරාධමය වරදක් නොවන බවට දනිමින්ම එම නිලධාරීන් විසින් ද්වේශ සහගතව තමන් අත්අඩංගුවට ගෙන නඩු පැවරූ බවද වන්දි ඉල්ලා අද ගොනු කළ පැමිණිල්ලේ සඳහන්.
නීතිඥ දිනේශ් ද සිල්වා, නීතිඥ සිනෙත් බණ්ඩාර , නීතිඥ තිළිණි පෙරේරා ඇතුළු නීතිඥවරුන් පිරිසක් මෙම නඩුකරය අධිකරණයට ඉදිරිපත් කර තිබේ.
විමල් වීරවංශ මන්ත්‍රීවරයා ප්‍රකාශ කරන්නේ එම නිලධාරීන් එවක බලයේ සිටි යහපාලන ආණ්ඩුවේ දේශපාලඥනයින්ගේ අවශ්‍යතාවට හෝ උපදෙස් මත එලෙස ක්‍රියා කරන්නට ඇති බවට තමන් විශ්වාස කරන බවයි.