Trending Newsඑසැන පුවත්දේශීය

ලයින් කාමර යුගය අවසන් කර පහසුකම් සහිත ගම්මාන ඇති කරනවා – ජනාධිපති

ලයින් කාමර යුගය අහෝසි කරන බවත්, වතුකරයේ ජනතාවට ද සින්නක්කර ඉඩම් අයිතිය ලබාදී උසස් පහසුකම් සහිත ගම්මානයක ජීවත්වීමේ අයිතිය තහවුරු කිරීම තම අපේක්ෂාව බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. ජනාධිපතිවරයා මේ බව සඳහන් කර සිටියේ අද (08) පස්වරුවේ හපුතලේ පැවති “රනිල්ට පුළුවන්” විජයග්‍රාහී ජන රැළියේදීය.

ජනාධිපතිවරයා මෙසේ ද කීවේය. බණ්ඩාරවෙල, හපුතලේ සහ දියතලාව කියන ප්‍රදේශ මම දීර්ඝ කාලයක් පුරා දැනගෙන සිටියා. අද මම පැමිණ තිබෙන්නේ අඩුපාඩු නැති හපුතලේ ආසනයටයි. 2022 වසරේදී මම මෙහි පැමිණෙන විට ඉන්ධන, ගෑස් හා ඖෂධ ලබා ගැනීම වෙනුවෙන් පෝලිම් තිබුණා. රැකියා තිබුණේ නැහැ. විදුලි බලය තිබුණේ නැහැ. රටට අනාගතයක් තිබෙනවාද කියා ජනතාව බියෙන් පසු වුණා. මම ආණ්ඩුව භාරගත්තේ මේ සියල්ල නිවරැදි කිරීමටයි. මේ රටේ ජනතාව ජීවත් කරවීමේ වගකීම එදා මම භාරගත්තා. ඒ වෙනුවෙන් අසීරු තීරණ ගැනීමට මට සිදුවුණා.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වන වැඩසටහන අපි ආරම්භ කළා. මම ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමඟ වැඩ කර තිබු නිසා ඔවුන් සමඟ වැඩ කරන්නේ කොහොමද කියා මම දනන්වා. ඒ නිසා එම වැඩපිළිවෙළ සාර්ථක කර ගැනිමට මට හැකි වුණා. කෙසේ හෝ අද අප මේ රටේ ආථිකය ශක්තිමත් කර තිබෙනවා. ඒ වගේම ජනතාවගේ ජිවන බර අඩු කරමින් ඔවුන්ට සහන සැලසීමේ වැඩපිළිවෙළද ආරම්භ කර තිබෙනවා. ඉදිරියේ දී රුපියල තවත් ශක්තිමත්වීමත් සමග භාණ්ඩ මිල තවත් අඩු වෙනවා.

2023 වසරේ රජය සතුව මුදල් තිබුණා. අපි අඩුආදායම්ලාභී ජනතාව වෙනුවෙන් අස්වැසුම වැඩසටහන ආරම්භ කළා. ඒ යටතේ සමෘද්ධිය වගේ තුන් ගුණයක ප්‍රතිලාභ ජනතාවට ලබා දුන්නා. ලබාදෙන ප්‍රමාණය ලක්ෂ 18 සිට 24 දක්වා වැඩි කළා. ලයින් කාමරවල සිටින වැඩිහිටි අයටත් අස්වැසුම ලබාදීමට අප කටයුතු කරනවා. 2024 වසරේ අපේ රටේ ආර්ථිකය තවත් ශක්තිමත් වුණා. ඒ අනුව රජයේ සේවකයන්ගේ වැටුප් වැඩි කිරීමට අප කටයුතු කළා. ඒ වගේම වතුකරයේ ජනතාවගේ වැටුප් වැඩි කිරීම කටයුතු කර තිබෙනවා. 2025 වසරේ ද ආර්ථිකය තවත් ශක්තිමත් වන නිසා උදය ආර්. සෙනෙවිරත්න වාර්තාව අනුව රජයේ සේවකයන්ගේ වැටුප් වැඩි කිරීමට අප කටයුතු කරනවා.

ඒ වගේම අපි ලබාගත් ණය ආපසු ගෙවීමේදී සහන ලබාදීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ආසියානු සංවර්ධන බැංකුව, ලෝක බැංකුව සහ අපට ණය ලබාදුන් රටවල් 18 මේ වන විට එකඟ වී තිබෙනවා. ඒ අනුව ඩොලර් බිලියන 10ක ණය සහනයක් අපට ලැබී තිබෙනවා. ඒ වගේම ණය ගෙවීමට ඇති කාලය 2043 දක්වා දීර්ඝ කර තිබෙනවා. මෙම ගිවිසුම් අනුව ඉදිරියට ගියොත් අපට දියුණු විය හැකියි. ඒ නිසා මෙම වැඩපිළිවෙළ ඉදිරියට ගෙන යනවාද, නැද්ද කියා මෙවර ජනාධිපතිවරණයේ දී ජනතාව තීරණය කළ යුතුයි.

සජිත් සහ අනුර කියනවා අපි ආරම්භ කළ වැඩපිළිවෙළ වෙනස් කරනවා කියලා. එවිට එම සහන ලැබෙන්නේ නැහැ. රුපියල නැවත කඩා වැටෙනවා. මේ රටේ ජනතාව ඊට සූදානම් නැහැ කියා මම දන්නවා. සජිත්ගේ හා අනුරගේ පොරොන්දු රටට ගැළපෙන්නේ නැහැ. රටේ ආර්ථිකය ආපනයන ආරථිකයකට පරිවර්තනය කිරීමේ වැඩපිළිවෙළ අප මේ වන විට සකස් කර තිබෙනවා. එවිට වියට්නාමය, තායිලන්තය වැනි රටවල් වගේ විදේශ විනිමය අතිරික්තයක් තබා ගැනීමට අපට අවස්ථාව ලැබෙනවා. අප අලුත් ආර්ථික ක්‍රමයක් ඔස්සේ ඉදිරියට යා යුතුයි.

වතුකරයේ ජනතාවගේ වැටුප් වැඩි කිරීමට අප කටයුතු කරගෙන යනවා. ඒ වගේම අස්වැසුම ලබා දෙනවා. අපි ලයින් කාමර ක්‍රමය අවසන් කරනවා. අපි වතුකරයේ ගම්මාන ඇති කර එම ජනතාවට සින්නක්කර ඉඩම් අයිතිය ලබා දෙනවා. එවිට එම ජනතාවට ද ගමේ ජනතාවට ලැබෙන වරප්‍රසාද හිමි වෙනවා. ඒ වගේම බණ්ඩාරවෙල විශාල ශිතාගාර ගබඩාවක් ඇති කිරීමට අප සැලසුම් කර තිබෙනවා. මේ ප්‍රදේශවල වගා කෙරෙන එළවළු හා පළතුරු මෙම ශිතාගාරයට එක් කර එතැනින් කොළඹට යැවිමට හෝ අපනයනය කිරීමට හැකියාව තිබෙනවා. අපි එම දියුණුව ඇති කළ යුතුයි.

ඒ වගේම මෙම පළාතේ සංචාරක කර්මාන්තය දියුණු කර නව රැකියා අවස්ථා උදා කරනවා. අපි රට දියුණු කරනවා. ආයෝජන කලාප ඇති කරනවා. ඩිජිටල් මධ්‍යස්ථාන ඇති කරනවා. ඒ වගේම අපි කාන්තාවන් අමතක කර නැහැ. කාන්තාවන් සවිබල ගැන්විමේ පනත අප ගෙනවිත් තිබෙනවා. ඒ වගේම කාන්තා හිංසනය වැළැක්වීමට අවශ්‍ය පියවර ගෙන තිබෙනවා. කාන්තාවන් වැඩි ප්‍රමාණයක් රැකියා වෙළෙඳපොළට එක් කර ගැනිමට අප පියවර ගෙන තිබෙනවා. මේ තුළින් ජනතාවට ශක්තිමත් ආර්ථිකයක් ලැබෙනවා. ඒ නිසා සැප්තැම්බර් 21 වනදා ගැස් සිලින්ඩරය ඉදිරියෙන් කතිරය ගසා මෙම වැඩපිළිවෙළ දිරියට ගෙන යමු කියා මම සියලුදෙනාට ආරාධනා කරනවා.

මහා සංඝරත්නය සහ අන්‍යාගමික පූජකයින්, හිටපු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා ඇතුළු විවිධ පක්ෂ නියෝජනය කරමින් පළාත් පාලන ආයතන වල හිටපු ප්‍රධානීන් සහ සභිකයින් මෙන්ම විශාල ජනතාවක්ද එක්ව සිටියා.

Related posts

පාසල් නිවාඩුව ගැන අධ්‍යාපන අමාත්‍යංශයෙන් දැනුම්දීමක්

Mohamed Dilsad

நியூசிலாந்து துப்பாக்கிச் சூட்டின் உயிரிழப்பு எண்ணிக்கை 49 ஆக அதிகரிப்பு

Mohamed Dilsad

ரவியின் நியமனத்துக்கு எதிர்ப்பு

Mohamed Dilsad

Leave a Comment