Trending Newsඑසැන පුවත්දේශීය

මහවිරු සැමරුම් ප්‍රචාරය කිරීමේ සිද්ධියේ කැලුම් ජයසුමන ඇප මත මුදා හැරේ. මහජන කැළඹීමක් සිදුවූ බවට සාක්ෂි නැතුව සැකකරුවෙක් බන්ධනාගාර ගත කරන්න බැහැ. – කොළඹ මහෙස්ත්‍රාත්

උතුරේ මහවිරු සැමරුම් පැවැති බවට අසත්‍ය තොරතුරු මුහුණු පොත ඔස්සේ බෙදාහැරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටි සමාජ ක්‍රියාකාරිකයකු වන කැලුම් ජයසුමන මහතා ඇපමත මුදාහරින ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කළේය. අදාළ පැමිණිල්ල අද (04) කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා ඉදිරියේ කැඳවනු ලැබීය.

එහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි නිලධාරීන් අධිකරණය හමුවේ කරුණු දක්වමින් ප්‍රංශයේ සිටින කාන්තාවක් විසින් මුහුණුපොතේ පළ කළ කොටි සංවිධානයේ තහනම් කරන ලද සංකේත ඇතුළත් ඡායාරූපයක් මෙම සැකකරු විසින් භාගත කොට එය යළි පළ කර ඇතැයි පැවසුවේය. මේ තුළින් මහජන සාමය හා ජාතීන් අතර සංහිඳියාවට බාධා එල්ල වී ඇතැයි සඳහන් කළ එම නිලධාරින් උතුරේ මෙවැනි උත්සවයක් පවත්වා නොමැති බවත් සඳහන් කළේය.  විමර්ශන කටයුතු අවසන් වී නොමැති හෙයින් මෙම සැකකරු තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ඉල්ලා සිටියේය.

මෙහිදී මහෙස්ත්‍රත්වරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් වෙත ප්‍රශ්නයක් යොමු කරමින් මෙම ක්‍රියාව නිසා මහජන සාමය කඩ වූ බව තහවුරු කෙරෙන ප්‍රකාශ සටහන් කර අධිකරණයට ඉදිරිපත් කර තිබේදැයි විමසුවේය.

ඊට පිළිතුරු දෙමින් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සඳහන් කළේ, එවැනි ප්‍රකාශ සටහන් කර අධිකරණයට ඉදිරිපත් කර නොමැති බවය.

මහජන කැලඹීමක් සිදුවූ බව තහවුරු කෙරෙන සාක්ෂි නොමැතිව මෙම සැකකරු තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන්නේ කෙසේදැයි ප්‍රශ්න කළ මහෙස්ත්‍රාත්වරයා තමන්ට සාක්ෂි නොමැතිව සැකකරුවන් රක්ෂිත බන්ධනාගාර ගත කළ නොහැකි බවත් පැවසුවේය. 

අධිකරණය වෙත සාක්ෂි ඉදිරිපත් නොකොට සිතේ තිබෙන දේවල් පදනම් කරගෙන සැකකරුවන් රක්ෂිත බන්ධනාගාරගත කළ නොහැකි බවත් මෙහිදී මහෙස්ත්‍රාත්වරයා සඳහන් කර සිටියේය. ඒ අනුව සැකකරු ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට නියෝග කළ මහෙස්ත්‍රාත්වරයා පැමිණිල්ල නැවත අප්‍රේල් මස 03 වනදා කැඳවන ලෙසත් නියෝග කළේය.

Related posts

රිෂාඩ් බදියුදීන්ගේ ඉල්ලීමට ක්‍රියාත්මක කළ ව්‍යාපෘති රැසක් ජනාධිපති ලේකම් කාර්යාලයේ ගණකාධිකාරී විසින් නතර කරයි.

Editor O

රැඳවියෙකු පලා යයි

Mohamed Dilsad

Bebe Rexha claps back at body shammers, says ‘We are beautiful any size’

Mohamed Dilsad

Leave a Comment