ගෙවිය යුතු හිඟ බදු මුදල් නොවැම්බර් මස 30 වැනිදාට පෙර ගෙවා අවසන් නොකරන්නේ නම් තම සමාගම වෙත නිකුත් කර තිබෙන මත්පැන් නිෂ්පාදන බලපත්‍ර අත් හිටුවීමට පියවර ගන්නා බව දැනුම් දෙමින් සුරා බදු දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙන ලිපිය බල රහිත කිරීමේ තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා ඩබ්ලිව්.එම්.මෙන්ඩිස් සමාගම විසින් ගොනු කළ පෙත්සම විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කිරීමට අභියාචනාධිකරණය අද (04) තීන්දු කළේය.
පෙත්සම සලකා බැලීම සඳහා කැඳවූ අවස්ථාවේදී පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ නවීන් මාරපන මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් ඉකුත් නොවැම්බර් මස 30 වැනිදාට පෙර හිඟබදු ගෙවා අවසන් නොකළහොත් දැනට නිකුත් කර තිබෙන මත්පැන් නිෂ්පාදන බලපත්‍ර අත්හිටුවීමට පියවර ගන්නා බවට සුරා බදු දෙපාර්තමේන්තුව විසින් තම සේවාදායකයා වෙත නිකුත් කර තිබෙන ලිපිය සම්පූර්ණයෙන්ම නීතියට පටහැනි බව සඳහන් කළා.දෙසැම්බර් මස 31 වන දා දක්වා මත්පැන් නිෂ්පාදන කටයුතු සිදු කිරීමට තමන්ට බලපත්‍ර නිකුත් කර තිබියදී හදිසියේ මේ ආකාරයෙන් නොවැම්බර් මස 30 වනදා ඒවා අත්හිටුවන බව දැන්වීම අත්තනෝමතික ක්‍රියාවක් බවද ඔහු පෙන්වා දුන්නේය.
තම සමාගම වෙත මත්පැන් නිෂ්පාදන බලපත්‍ර 10 ක් නිකුත් කර තිබෙන බවත්, ඉන් බලපත්‍ර 08 ක් දෙසැම්බර් 04 දින සිට අත්හිටුවන බවට දැනුම් දී ඇති බවත් ජනාධිපති නීතිඥවරයා සඳහන් කළේය.
තම සේවා දායකයා විසින් ගෙවීමට තිබෙන රුපියල් බිලියන 5.3 ක හිඟ සුරා බදු මුදල් සහෝදර සමාගමක් වන පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමට අයත් මේ වන විට මහ බැංකුව විසින් තහනමට ගෙන තිබෙන රුපියල් බිලියන 12 කට අධික මුදල්වලින් ගෙවා දැමීමට හැකියාව තිබෙන බවත් ජනාධිපති නීතිඥවරයා සඳහන් කළේය.
ඒ අනුව ශ්‍රී ලංකා මහා බැංකුව විසින් රඳවාගෙන සිටින පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමට අයත් මුදල් වලින් මෙම බදු මුදල් ගෙවීම සඳහා ප්‍රතිපාදන මුදාහරින ලෙස අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙසත් ජනාධිපති නීතිඥ නවීන් මාරපන මහතා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.
එම ඉල්ලීමට නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් අවන්ති පෙරේරා දැඩි ලෙස විරෝධය පළ කළාය. .
දීර්ඝ කරුණු සලකා බැලීමකින් පසුව සෝභිත රාජකරුණා සහ මහේන් ගොපල්ලව යන අයගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝග කළහ. තීන්දුව ප්‍රකාශයට පත්කරමින් විනිසුරු මඩුල්ල සඳහන් කළේ, මෙම පෙත්සම තුළ දක්වා ඇති කරුණු අනුව බැලූ බැල්මටම නඩු නිමිත්තක් අනාවරණය නොවන හෙයින් එය විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කරන බවය.