Trending Newsඑසැන පුවත්දේශීය

පනත් සම්මත කිරීම පිළිබඳ, වත්මන් ආණ්ඩුවට අවබෝධයක් නැහැ – උදය ගම්මන්පිල

සාමාන්‍ය පෙල විභාගය මැද පුංචි ඡන්දය පවත්වා දරුවන්ගේ අනාගතය විනාශ කරන්න එපා යැයි ආණ්ඩුවෙන් ඉල්ලා සිටින බව පිවිතුරු හෙළ උරුමය නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා පවසයි. ඒ මහතා මේ බව සදහන් කර සිටියේ පිවිතුරු හෙළ උරුමය පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමිනි.

උදය ගම්මන්පිල මහතා මෙසේ ද කීවේය. පසුගිය සිකුරාදා මාධ්‍ය ඇමතූ ජනාධිපතිතුමා පුංචි ඡන්දය සිංහල අවුරුද්දට කලින් පැවැත්වීමට කටයුතු යොදා ඇති බව පැවසුවා. එතුමා එහෙම කිව්වේ පනත් සම්පාදනය පිළිබඳ එතුමාට නිසි අවබෝධයක් නැති නිසා. දෙසැම්බර් 3 වන දා පුංචි ඡන්දයට කැඳවා ඇති නාමයෝජනා අවලංගු කිරීමට ඇමති මණ්ඩලය තීරණය කලා. ඒ තීන්දුව අරන් සති තුනක් ගත වුණත් තනි පිටුවේ පනත ඇමති මණ්ඩලයට ඉදිරිපත් කිරීමට ආණ්ඩුව තවමත් අසමත් වෙලා.

අපි හිතමු අද මේ පනත් කෙටුම්පත අමාත්‍ය මණ්ඩලය අනුමත කරනවා කියලා. අද රැස්වීමේ වාර්තාව අනුමත කරන්නේ දෙසැම්බර් 30දා. ඊට පස්සේ දෙසැම්බර් 31 ගැසට් මගින් ප්‍රසිද්ධ කළොත් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට පෙර ජනතාවට අධ්‍යනය කරන්න සති දෙකක කාලයක් දෙන්න ඕනි නිසා ජනවාරි 14 දා වන තුරු පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න බෑ. ජනවාරි 14 පස්සේ පාර්ලිමේන්තුව රැස්වීමක් තිබෙන්නේ ජනවාරි 21 දා. එදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළාට පස්සේ පනත් කෙටුම්පතට එරෙහිව නඩු පවරන්න ජනතාවට සති දෙකක කාලයක් ලබා දෙනවා. ඒ සති දෙක ගත වුණාම කවුරුවත් නඩු දැම්මේ නැතිනම් තමයි පාර්ලිමේන්තුවේ විවාද කරන්න පුළුවන් වෙන්නේ. ඒ කියන්නේ පෙබරවාරි 5 දා වන තුරු මේ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ සම්මත කරන්න බෑ. පෙබරවාරි 5දාම විවාද කරලා සම්මත කළත් කතානායකට අත්සන් තබන්න තවත් දවස් දෙකක්වත් යනවා. ඒ කියන්නේ මේ පනත නීතියක් වෙලා නාමයෝජනා අහෝසි වෙන්නේ පෙබරවාරි 7දා. පෙබරවාරි 8දා මැතිවරණ කොමිසම කඩිමුඩියේ රැස් වෙලා මැතිවරණයට දින නියම කරලා ඒක එදාම තේරීම් භාර නිලධාරින්ට දැනුම් දීම කළත් මැතිවරණය නිවේදනය කරන්න වෙන්නේ පෙබරවාරි 9දා. මැතිවරණය ප්‍රකාශයට පත් කරන දිනයේ සිට 14 වන දිනයේ සිට 17 වන දිනය දක්වා තමයි නාමයෝජනා බාර ගන්නේ. ඒ කියන්නේ නාමයෝජනා දින බවට පත් විය හැකි ආසන්නතම දින වෙන්නේ පෙබරවාරි 23 සිට 26 දක්වා.

පලාත්පාලන මැතිවරණ නීතියට අනුව මැතිවරණය පැවැත්වීම සිදු කරන්න ඕනි නාමයෝජනා අවසන් වන දිනයේ සිට සති 5ක් සහ 7ක් අතර. අවම කාලයකින් මැතිවරණය පවත්වනවා කියලා හිතුවොත් පෙබරවාරි 26 සිට සති 5ක්. ඒ කියන්නේ අප්‍රේල් 02 දා. මැතිවරණය හැකි තාක් දුරට සෙනසුරාදා දින පවත්වන්න කියලා පළාත් පාලන පනතේ විශේෂයෙන් කියනවා. ඒ නිර්දේශය අනුව මැතිවරණය පවත්වන්න වෙන්නේ අප්‍රේල් 5දා. ඒ නිසා තමයි සිංහල අලුත් අවුරුද්දට කලින් ඡන්දය පවත්වන බවට ජනාධිපතිතුමා කිව්වේ.

ආණ්ඩුවට මැතිවරණයට දින නියම කරන විට අමතක වුණු දෙයක් තිබෙනවා. ඒ තමයි ජීවිතයේ කඩඉම් විභාගයක් වෙන සාමාන්‍ය පෙළ විභාගය මාර්තු 15 සිට අප්‍රේල් 5දා දක්වා පැවැත්වෙනවා. අපේක්ෂකයින් ලක්ෂයක් විතර තරග වදින වැඩිම කාලගෝට්ටියක් ඇති කරන මැතිවරණය තමයි පුංචි ඡන්දය. ඒ නිසාම විභාගයට මුහුණ දෙන සෑම දරුවෙකුගේම පවුල් වල කවුරු හරි අපේක්ෂකයෙකු ඥාතියෙක් හෝ මිත්‍රයෙක් ලෙස ඉන්නවා. රටේ වගේම ගෙවල් තුළ තිබෙන කලබලකාරි පරිසරය දරුවන්ගේ මානසිකත්වයට බලපානවා. ඒ නිසා සාමාන්‍ය පෙළ විභාගය මැද පුංචි ඡන්දය පවත්වලා දරුවන්ගේ අනාගතය විනාශ කරන්න එපා කියලා අපි ආණ්ඩුවෙන් ඉල්ලා සිටිනවා.

සුළි සුළඟක් එනවා කියලා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවලා තිබිය දී විභාගය කල් දාන්න කියලා දරුවන් ඉල්ලා සිටිය දී ඉතාම උද්ධච්ඡ ආකාරයෙන් පසුගිය උසස් පෙඝ විභාගය කල් දාන්න අගමැතිතුමිය ප්‍රතික්ෂේප කළා. සුළි සුළඟ නිසා තමන්ගේ ගෙවල් පොත්පත් විනාශ වුණු දරුවන් ආණ්ඩුවේ මුරණ්ඩුකම නිසා දැඩි අපහසුතාවයන්ට මුහුණ දුන්නා. ඒකෙන්වත් පාඩමක් ඉගෙන ගෙන උසස් පෙළ දරුවන් දැම්ම අමාරුවේ සාමාන්‍ය පෙළ දරුවන් දාන්න එපා කියලා අපි ආණ්ඩුවෙන් ඉල්ලනවා.

අප්‍රේල් මුල් සතියේ මැතිවරණය ප්‍රකාශයට පත් කළොත් අවුරුද්දෙන් පස්සේ නාමයෝජනා භාර ගෙන මැයි මස අග මැතිවරණය පැවැත්වීමට හැකියාව තිබෙනවා. එතකොට මැතිවරණයෙන් අපේ දරුවන්ට බාධාවක් නැහැ.

Related posts

Reduce in showery weather

Mohamed Dilsad

Head of Avant-Garde’s Maritime Security Division arrested

Mohamed Dilsad

Business tycoon Vijay Mallya, who fled India in 2016, arrested in London, granted bail

Mohamed Dilsad

Leave a Comment