මුලතිව් මුහුදේදී අතරමංව සිට බේරාගන්නා ලද මියන්මාරයේ රොහින්ග්‍යා සරණාගතයන් යළි එරටට පිටුවහල් කිරීම මෙරටට කැළලක් වනු ඇති බව සමගි ජන බලවේග කොළඹ දිස්ත‍්‍රීක් පාර්ලිමේන්තු මන්ත‍්‍රී මුජිබර් රහුමාන් මහතා පවසයි. ජනාධිපති අනුර දිසානායක මහතා වෙත ලිපියක් යොමු කරමින් ඔහු මේ බව කියා සිටී.
එම ලිපිය මෙසේය.
අතිගරු ජනාධිපති තුමනි,
රොහින්ග්‍යා යුද අනාථයන් මියන්මාරයට පිටුවහල් නොකරන ලෙස ඉල්ලීමයි.
මුලතිව් මුහුදේ අතරමංව සිටියදී ධීවරයන් විසින් දෙසැම්බර් 19 දා බේරාගෙන රජයට බාරදීමෙන් පසු දැන් මුලතිව් ගුවන් හමුදා කඳවුරේ රඳවාගෙන සිටින රොහින්ග්‍යා සරණාගතයන් පිරිස ආපසු මියන්මාරයට පිටුවහල් කිරීමට ආණ්ඩුව ගෙන ඇති තීරණය අපේ බලවත් කම්පාවට හේතු වෙයි. යුද බියෙන් ජිවත බේරා ගැනීමට පලා යන මෙම අසරණයන් 103 දෙනා අතර දරු දැරියන් හතලිහකට වැඩි සංඛ්‍යාවක් ඉන්නා බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම නිවේදනය කර ඇත. ඔවුන්ගේ අපේක්ෂාව ආරක්ෂිත රටක දේශපාලන රැකවරණ ලබා ගැනීමයි.
මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල විසින් ජනමාධ්‍යට ප්‍රකාශ කර ඇති පරිදි රජයේ සැලසුම ඔවුන් මියන්මාරයටම පිටුවහල් කිරීමයි. ඔවුන්ගේ නම් ලැයිස්තු ඒ ආණ්ඩුවට ලබාදි ඇති බවද ඔහු ප්‍රකාශ කර තිබේ. එය මේ සැමදෙනාගේම පමණක් නොව මියන්මාරයේ වෙසෙන ඔවුන්ගේ ඥාති මිත්‍රාදීන්ගේ ජීවිත පවා අනතුරේ හෙලීමක් බව අපේ දැඩි විශ්වාසයයි. එපමණක් නොව ඔවුන් මියන්මාරයට යැවීම යම් රටකදී අනතුරකට ගොදුරු වීමේ අවදානමක් සහිත පුද්ගලයන් ඔවුන්ගේ කැමැත්තෙන් තොරව එම රටටම ආපසු යැවීමෙන් වැළකී සිටීමේ ජාත්‍යන්තර නෛතික මුලධර්මයට ද හරස්ව යාමකි. ඔබතුමාගේ පාලන කාලය තුල මෙරටට ඇතුල් වූ මුල්ම සරණාගත පිරිස ඔවුන් පැමිණි රටේ මාර මුඛයට යැවීමෙන් ලෝකයා හමුවේ රටට අත්වන්නේ කැළලකි.
ජාතිවාදී ගැටුම් වලින් ගලාගිය ලෙසින් තෙත් වූ දේශයක ජනතාව ඒ ඉරණමින් ගලවා නොගෙන දැන දැනම අනතුරේ හෙලීම ජාතිවාදී ගැටුම් වලින් පීඩාවට පත් වූ මේ දේශය සුවපත් කිරීමට පාර්ලිමේන්තුවේ මංගල දේශනයෙන් පොරොන්දු දුන් රාජ්‍ය නායකයා වන ඔබතුමාට තරම් නොවේ. දශක කිහිපයක් යටිබිම්ගත දේශපාලනයක සැඟවෙන්නට බලකෙරුණු පක්ෂයක නායකයා වන ඔබතුමා රාජ්‍ය මර්දනයේ තරම කටුක අත්දැකීමෙන්ම දනී.
එම නිසා, ශ්‍රී ලංකාවේ රඳවාගෙන සිටින රොහින්ග්‍යාවරුන් පිරිස තමන්ගේ සුරක්ෂිත භාවය සහතික කෙරෙන තවත් රටකට යනතුරු මියන්මාරයට පිටුවහල් නොකර තවදුරටත් අපේ රට තුලම ඔවුන්ගේ සුබ සිද්ධිය සලසා දී, මානව හිමිකම් සුරකින, අසරණයන්ට සරණ වන ශ්‍රී ලාංකික ආගන්තුක සත්කාරයේ අසිරිය ලොවට විදහා දැක්වීමට මෙය අවස්ථාවක් කරගන්නා මෙන් උදක්ම ඉල්ලා සිටිමි.
ඒ සක්‍රියාව සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානය ඇතුළු සංවිධාන වල පමණක් නොව විපක්ෂයේ සහාය ඔබතුමාට ලැබෙනු ඇති බව අපේ විශ්වාසයයි.
ස්තූතියි
එම ලිපිය පහතින්