සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සුජීව සේනසිංහ මහතා විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය අවසර ලබාදී තිබේ. ඒ, තමන්ට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් නීතිවිරෝධී ආකාරයට සිදු කරන පරීක්ෂණවලින් සිය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් සම්බන්ධයෙනි.
දීර්ඝ කරුණු සලකාබැලීමකින් පසුව කුමුදුනී වික්‍රමසිංහ, ජනක් ද සිල්වා සහ සම්පත් අබේකෝන් යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල විසින් අද (13) මෙම නියෝගය නිකුත් කළේය. ඒ අනුව අදාළ පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස වැඩබලන පොලිස්පතිවරයා, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා සහ එහි අධ්‍යක්ෂවරයා නීතිපතිවරයා ඇතුළු 18 දෙනකු නම් කර තිබුණි.
විරෝධතා තිබේ නම් ඒවා අද දින සිට සති 6ක් තුළ ගොනු කිරීමට පියවර ගන්නා ලෙස එම වගඋත්තරකරුවන්ට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නියෝග කර තිබේ. ඉන් අනතුරුව පෙත්සම් විභාගය සැප්තැම්බර් මස 10 වනදා පැවැත්වීමටද අධිකරණය නියෝග කර ඇත.
පෙත්සම්කාර සුජීව සේනසිංහ මහතා වෙනුවෙන් නීතිඥ සනත් විජේවර්ධන මහතාගේ උපදෙස් මත පෙනී සිටි ජනාධිපති නීතිඥ අලි ශබ්රි මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් නීතිවිරෝධී ලෙස එකලස් කරන ලද වාහනයක් සම්බන්ධයෙන් වැරදි කරුණු අධිකරණයට ඉදිරිපත් කරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් තම සේවාදායකයාට එරෙහිව විමර්ශනයක් ආරම්භ කළ බව සඳහන් කළේය.
නීතිවිරෝධී ලෙස වාහනයක් එකලස් කළේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් විමර්ශන සිදු කෙරුණද එම වාහනය 2022 වසරේ ලියාපදිංචි කර තිබූ බව පෙන්වා දුන් ජනාධිපති නීතිඥවරයා ඉන් පසුව ගරාජ් අංකයක් යටතේ එම වාහනය භාවිත කළ බවට පැමිණිල්ල මගින් ඉදිරිපත් කර තිබෙන චෝදනා පදනම් විරහිත බව පෙන්වා දුන්නේය.
එම විමර්ශනයට පාදකවන පැමිණිල්ල විස්වසනීයත්වයෙන් තොර පදනම් විරහිත පැමිණිල්ලක් බවත් ජනාධිපති නීතිඥවරයා මෙහිදී පෙන්වා දී ඇත. එහෙත් වලාන දූෂණ මර්දන ඒකකය මගින් මුලින්ම මෙම සිද්ධියට අදාළ විමර්ශන සිදු කළ අතර එහිදී නීතිවිරෝධී ක්‍රියා කිසිවක් අනාවරණය නොවූ බවට එම විමර්ශන ඒකකය විසින් අධිකරණයට වාර්තා කර තිබූ බවත් ජනාධිපති නීතිඥවරයා පෙන්වා දුන්නේය.
ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල අනතුරුව මෙම පෙත්සම විභාගයට ගැනීමට අවසර ලබාදී ඇත