නිවාසවල වහල මත සවි කර ඇති සූර්ය පැනලවලින් ජාතික විදුලිබල පද්ධතියට එකතු කරන විදුලිය සඳහා ගෙවන ආදායම් ගාස්තු අඩු කිරීමට රජය කර ඇති යෝජනාව වහා හකුලා ගත යුතු බව පුනර්ජනනීය බලශක්තිය සුරැකීමේ පෙරමුණ පවසයි.
එම පෙරමුණේ සම කැඳවුම්කරු සංඛ චන්දිම මහතා පෙන්වා දෙන්නේ ලොව කිසිදු රටක ආණ්ඩුවක් සූර්ය බලයෙන් විදුලිය නිපදවීම අධෛර්යමත් කර නොමැති බවය. ඔහු මේ පිළිබඳ පැවසුවේ පසුගියදා (26) කොළඹ දී පැවැත්වූ මාධ්‍ය හමුවකදීය.
මෙවැනි ගාස්තු කපා හැරීම රජයේ කෙටිකාලීන මූල්‍ය සැලසුම් සඳහා ප්‍රයෝජනවත් විය හැකි වුවද, එය දිගු කාලීනව පුනර්ජනනීය බලශක්ති වෙත යොමු වීමේ ජාතික උත්සාහයන්ට අහිතකර ලෙස බලපෑම් කළ හැකි බව ද මෙහිදී හෙතම පැවැසුවේය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පුනර්ජනනීය බලශක්තිය සුරැකීමේ පෙරමුණේ සම කැඳවුම්කරු සංඛ චන්දිම මහතා ‘යෝජිත ගාස්තු අඩු කිරීම් – රුපියල් 27 සහ රුපියල් 23 සිට රුපියල් 19 සහ රුපියල් 14 දක්වා අඩු කිරීම – ව්‍යාපාර 1,000කට වැඩි ප්‍රමාණයකට සහ සේවකයන් හැටදහසකට වැඩි පිරිසකගේ ජීවනෝපායන්ට තර්ජනයක්. 2024 වසරේදී වහල මත සවි කරලා තියෙන සුර්ය පැනල මගින් මෙගාවොට් 500කට වැඩි ප්‍රමාණයක් ජාතික විදුලි පද්ධතියට එකතු කරල තියනවා. අපි ඉල්ලන්නේ මේ කර්මාන්තය දියුණු කරන්න රජයේ සහාය දෙන්න කියලා. ජාතික මෙහෙවරක් අපි මේ කරන්නේ. අපි රජයෙන් ඉල්ලා සිටින්නේ මෙම යෝජනාව සංශෝධනය කරන්න කියලා. අපි පුළුවන් තරම් උත්සාහ කරන්නේ මේ ගැන රජය එක්ක කතා කරලා සාධාරණ විසඳුමකට එන්න ”
බලශක්තිය සුරැකීමේ පෙරමුණේ සාමාජික හරේන් පෙරේරා මහතා ද මෙසේ පැවැසුවේය.
” වහල මත සවිකරලා තියෙන සූර්ය පැනල මගින් බලශක්ති අර්බුදයට විසඳුම් ලබා දීමේ හැකියාව තියෙනවා. අයෝජකයන් දිරිමත් කරන ගාස්තු ව්‍යුහයක් නැති වුණොත්, රටේ සෝලා බලශක්ති ක්ෂේත්‍රයට ලොකු බලපෑමක් ඇතිවෙනවා. දැනට මේ වහලය මත සවි කරලා තියෙන සූර්ය පැනල මගින් විදුලිය උත්පාදනය කරන ආයතන හාරසියකට වැඩිය තියනවා. වක්‍රව සහා සෘජුව ගත්තොත් මේ ආයතනවලින් යැපෙනවා ලක්ෂ දෙකක් විතර පුද්ගලයන්. විශාල කර්මාන්තයක් මේක. මේක අඩපණ වෙන්න දෙන්න එපා කියල අපි ඉල්ලන්නේ. මේ නව ගාස්තු අනුව කිසිම කෙනෙක් කැමැති වෙන්නේ නැහැ මේ කර්මාන්තයේ යෙදෙන්න. එතකොට රටට වෙන්නෙත් පාඩුවක් මේකෙන් යැපෙන අයට වෙන්නෙත් ලොකු පාඩුවක් ”