බංකුවේ වාඩි කර ජාතික ආරක්ෂාව ගැන අපිට ටියුෂන් දෙන්න ආ ආණ්ඩුවේ ඇමැතිවරයා එකක් කියන විට ගුවන් හමුදාව තවත් එකක් කියනවා. රටේ ජාතික ආරක්ෂාව වැටී ඇති තත්ත්වය ඉන් මනා සේ පැහැදිලි වන බවට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ පවසයි.
පළාත් පාලන මැතිවරණය සඳහා මාතර දිස්ත්‍රික්කය නියෝජනය කරමින් තරග වදින අපේක්ෂකයන් දැනුවත් කිරීම සඳහා මාතර පඹුරන පක්ෂ කාර්යාලයේදී පැවැති සම්මන්ත්‍රණය අමතමින් එලෙස පැවැසූ නාමල් රාජපක්ෂ එහිදී වැඩිදුරටත් කියා සිටියේ වත්මන් ජනාධිපතිවරයා ඉතිහාසයේ වැඩිම බොරු කී නායකයා බවට පත්ව ඇති බවයි.
තම නායකයන් එදා රාජ්‍ය බලය ලබා ගත්තේ රටට හා ජනතාවට දැවැන්ත වැඩ කොටසක් සිදු කිරීමෙන් පසු බවත් එහෙත් මෙම ආණ්ඩුව බලය ගත්තේ ජනතාව අතර බොරුව ව්‍යාප්ත කිරීමෙන් බවත් ඒ මහතා පැවැසුවේය.
නාමල් රාජපක්ෂ මහතා වැඩිදුරටත් මෙසේද පැවැසුවේය.
ආණ්ඩු බලය ලබාගත් මෙම පිරිසේ කුහකත්වය මනා සේ පෙනෙන අවස්ථාවක් තමයි එදා අධිවේගී මාර්ගය හදන අවස්ථාවේ ඊට එරෙහිව විවේචනය සිදු කිරීම. එලෙස විවේචනය කළ පිරිස අද මාතර රැස්වීම් සඳහා පැමිණෙන්නේ එදා විරුද්ධ වූ අධිවේගී මාර්ගයෙන්මයි.
එදා තිස් වසරක යුද්ධය අවසන් කරන්නට ඊට නායකත්වය දුන්නේ, අණ දුන්නේ මහින්ද රාජපක්ෂ මහතායි. යුද්ධයේදී යමක් සිදු වූවා නම් ඊට නායකත්වය දුන් කෙනාගෙන් අහනවා වෙනුවට අද සිදුව ඇත්තේ නායකයා කියූ දේ කරපු හමුදා විරුවන්ට පහරදීමයි.
කරුණා අමාත්‍යවරයා එදා කරපු වැරැද්ද තමයි එල්. ටී. ටී. ඊ. එකෙන් අයින් වීම. එදා එල්. ටී. ටී. ඊ. එකත් ජේ. වී. පී. එකක් කරපුවා අමතක කර රණවිරුවන්ට පහර දෙන්න හදනවා.
අපි කෙඳිරි ගාන්නේ නැහැ. අපිට වැඩ කරලා පුරුදුයි. අභියෝගවලට මුහුණ දෙන්න පුළුවන්. අපි එවැනි දේ කර පෙන්වා තිබෙනවා. තව නොබෝ කලකින් මහ පොළොවේ පය ගහන ආණ්ඩුවක් හදනවා. එතෙක් මහ පොළොවේ පය ගසා සිටින පිරිසක් සමස්ථ ප්‍රාදේශීය සභා තුළින්ම සකස් කරන්නටයි මේ උත්සාහය යනුවෙන් ද නාමල් රාජපක්ෂ පැවැසුවේය.
– ජයසිරි පේදුරුආරච්චි